(රන්ජන් කටුගම්පොළ සහ විමුක්ති එස් රුද්‍රිගු)

තමා ළමා මන්ද පෝෂණය පිළිබඳ සිදු කළ පරීක්ෂණයක් සම්බන්ධයෙන් ජන මාධ්‍ය මගින් ප්‍රචාරය වූ තොරතුරු පදනම් කරගනිමින් නීතියට පටහැනිව වැඩ තහනමට ලක් කිරීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවන ලදැයි සඳහන් කරමින් ඊට රුපියල් කෝටියක වන්දි මුදලක් ලබාදෙන ලෙස ඉල්ලා වෛද්‍ය සංජීව චමල් මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කෙළේය. 

වෛද්‍ය සංජීව චමල් මහතා විසින් ගොනුකර ඇති මෙම පෙත්සමෙහි වග උත්තර කරුවන් වශයෙන් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු 21 දෙනෙකු නම්කරනු ලැබ සිටිති.

පෙත්සම්කරු උපාධිධාරී වෛද්‍යවරයකු වන බවත් ඔහු ශ්‍රී ලංකාව සෞඛ්‍ය තත්ත්වය පිළිබඳ පරීක්ෂණ පවත්වන පරීක්ෂකයකු බවත් නීතිඥ ප්‍රවීන් ප්‍රේමතිලක මහතා මගින් ගොනුකර ඇති පෙත්සමේ සඳහන් වේ. 

මේ පිළිබඳව පාර්ලිමේන්තුවේද කතා බහට ලක් වී ඇති අතර ඉන් අනතුරුව පසුගිය සැප්තැම්බර් 25 වැනිදා වැඩ තහනමට ලක්කර චෝදනා පත්‍රයක්ද ඉදිරිපත් කළ බවත් මෙම තත්ත්වය තුල පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව  එම පෙත්සමේ සඳහන් වේ.

තම මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බව ප්‍රකාශ කරන ලෙසත් තම වැඩ තහනම බල රහිත කරන නියෝගයක් නිකුත් කරන ලෙසත් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙසත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා ඇත.