මනෝප්‍රිය ගුණසේකර

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසිමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඖෂධ සහ වෛද්‍ය සැපයුම් මිලදී ගැනීමේ ප්‍රසම්පාදන කටයුතු පිළිබඳ රජයේ විගණකාධිපතිවරයා වෝහාරික විගණනයක් කරන බව නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට  දැනුම් දුන්නේය.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ කාලසමාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ප්‍රසම්පාදන ක්‍රියාවලිය උල්ලංඝනය කරමින් සිදු කළ ඖෂධ හා වෛද්‍ය සැපයුන් මිලදී ගැනීම් තුළින් මහජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් කඩවන වන බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ සංවිධානය ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නිර්මලන් විග්නේෂ්වරන් මහතා ඒ බව දැනුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණි.