( සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

කිසිම වෘත්තිය සංවිධානයකට හෝ වෙනත් සංවිධානයකට මන්ත්‍රීවරුන් කැඳවීමට කිසිදු බලයක් නොමැති බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

එසේම එවැනි දෙයක් කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව කිසිම සංවිධානයකට අවසර දී නැතැයිද ඔහු ප්‍රකාශ කළේය.

මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන එවැනි දෙයක් කිරීමට විපක්ෂ නායකතුමාටද බලයක් නැතැයි පැවසූ සභානායකවරයා මේ කරන්න යන වැඩේට විරැද්ධ බවද ප්‍රකාශ කළේය.

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී විශේෂ ප්‍රකාශයක් කරමිනි.

බිමල් රත්නායක මහතා මෙසේද පැවසීය.

හෙට දිනයේදී වෘත්තීය සංවිධානයකින් මන්ත්‍රීවරුන් කැඳවන්න දින දාගෙන තියෙනවා කියලා අාරංචියි. එහෙම දින දානවා කියලා මාධ්‍යයටත් කියලා තියෙනවා. මාධ්‍යයට කිව්වා පලියට එහෙම කැඳවන්න බලයක් ඔවුන්ට නැහැ. ලේකම් කාර්යාලය සහ කතානායක තීන්දුවක් ගත්තා. සියලු දැනුවත් කිරීම් කළ හැක්කේ සභානායකවරයාගේ එකඟත්වය මත පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේ තීරණය මත පමණයි. පාර්ලිමේන්තු කටයුතු කාරක සභාව යම්කිසි වෘත්තිය සංවිධානයකට සියලු මන්ත්‍රීවරුන් කැඳවන්න අවසර දීලා නැහැ.

ඒක ඉතා පැහැදිලි කරුණක්. විපක්ෂ නායකතුමා එහෙම දෙයක් කියනවා. ගැතිකම් කරන මාධ්‍ය දැන් බොරු ලියනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කැඳවීමේ බලය තියෙන්නේ පාර්ලිමේන්තු කාරක සභාවට.

කිසිම වෘත්තීය සංවිධානයකට මන්ත්‍රීවරුන් කැඳවන්න බලයක් නැහැ. තව එකක් කියන්න ඔනෑ. වෘත්තීය සංවිධාන අතරත් විවිධ බෙදීම් තියෙනවා. මේ පිළිබඳ කරැණු පාර්ලිමේන්තු කාරක සභාවේ සටහන්වල තියෙනවා. මේ වගේ දේවල් කවදාවත් මෙතන වෙලත් නැහැ. කරන්නත් බැහැ. පාර්ලිමේන්තුවේ සියලු මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන එහෙම දෙයක් කරන්න විපක්ෂ නායකට බලයක් නැහැ. අපි කවුරුත් විධිමත් විදිහට මෙතන හැසිරෙමු. බොරු කියන්නේ නැතුව.

නීතිඥ සංගමයට එක මතයක් නෑ. එතනත් විවිධ බෙදීම් තියෙනවා. පාර්ලිමේන්තුවේ මේ කරන වැඩවලට අපි විරුද්ධයි. මෙහෙම කරන්න ගියොත් සියලු නීතිඥ සංගම් වලට අවසර දෙන්න වෙනවා. ඔබතුමාලට ඕන නම් ඔබතුමාලගේ මන්ත්‍රීවරුන් කැඳවා ගන්න.

මනෝ ගනේෂන් මහතා:

මම එතුමගෙ කතාව ඇහුවා. විපක්ෂ නායකතුමා ඊට කතානායකතුමාගෙන් අවසර ඉල්ලන එක. මාධ්‍ය ගැන කතා කරන්න එපා. ඒගොල්ලන් විවිධ දේවල් ලියනවා.

සජිත් ප්‍රේමදාස මහතා:

අපි මේක කළේ කොලේ වහලා නොවේයි.මගේ ඉල්ලීම නීතිඥ සංගමය ප්‍රතික්ෂේප කළේ නැහැ. ඒක හොඳ අදහසක් කිව්වා. දිනය සුදුසු නැහැ කියල විතරයි කිව්වේ. මම ඒ ලිපිය සභාගත කරනවා.අපි මේවා කළේ පාර්ලිමේන්තුවට හංගල නොවේයි. සියලු දෙනා දැනුවත් කරලා. නීතිඥ සංගමය වෘත්තිය සමිතියක් කියලා කිව්වා. ඒගොල්ලන් පෙනී සිටි වෘත්තීය සමිති දැන් අනාථයි. කම්කරුවාත් අනාථයි.