(අංජුල මහික වීරරත්න)

කුඹුරු ඉඩම් ලේඛනයේ සඳහන්ව නොමැති ඉඩම් කුඹුරු ඉඩමක් නොවන බවට සහතික කිරීම සඳහා කෘෂිකර්ම නියෝජ්‍ය කොමසාරිස්වරුන්ට ලබාදී තිබූ බලය කුරුණෑගල දිස්ත්‍රිකය ඇතුලත  අත්හිටුවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයේ ගොවිජන කොමසාරිස්වරයෙක් විසින් නීතිවිරෝධීව කුඹුරු ඉඩමක් ගොඩ කිරීම සම්බන්ධ සිද්ධියක් නිසා  කෘෂිකර්ම අමාත්‍යංශය මෙම පියවර ගෙන ඇත.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් වහාම විමර්ශනයක්  කරන්නැයි ද කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා  ගොවිජන කොමසාරිස් ජනරාල් එච්.එම්.ඒ.එල්. අබේරත්න මහතාට උපදෙස් දුන්නේය.

කුඹුරු නාම ලේඛනයේ ඇතුලත් නොවන ඉඩමක් ගොඩ කිරීමේදී  දිස්ත්‍රික්ක බාර නියෝජ්‍ය කොමසාරිස්වරුන් හට ඔවුන්ගේ අභිමතය හා නිරීක්ෂණ අනුව කටයුතු කිරීමේ බලය පවරමින් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව 2018 වර්ෂයේ චක්‍රලේඛයක්  නිකුත් කර තිබිණි.

නමුත් කුරුණෑගල දිස්ත්‍රික්කයේ  නියෝජ්‍ය ගොවිජන කොමසාරිස්වරයා එම චක්‍රලේඛය අත්තනෝමතිකව භාවිත කර ඇද්ද යන්න කඩිනමින් පරීක්ෂා කිරීමෙන් පසුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එම චක්‍රලේඛය කුරුණෑගල දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වීම තාවකාලිකව අත්හිටුවීමට ගොවිජන කොමසාරිස් ජනරාල්වරයා තීරණය කළේය.

අනෙකුත් දිස්ත්‍රික්ක වලත් මෙම චක්‍රලේඛය අවභාවිත කර ඇති ද යන්න සොයා බැලීමටත් තීරණය කර තිබෙන අතර මෙවැනි සිදුවීම්  වලක්වාලීම සඳහා අදාල චක්‍රලේඛය වහාම සංශෝධනය කිරීමට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව තීරණය කර ඇත.