(අංජුල මහික වීරරත්න)

මහ කන්නයට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික් ටොන් 13,000 රැගත් පළමු නෞකාවේ පොහොර ගොඩබෑම අද (28) ආරම්භ කෙරිණි.

2022/23 මහ කන්නයේ වී වගාවට අවශ්‍ය යුරියා පොහොර මෙට්‍රික්ටොන් 13,000ක් රැගත් පළමු නෞකාව ඉකුත් (26) රාත්‍රී කොළඹ වරායට පැමිණියේය. මෙම යුරියා පොහොර තොගය චීනයෙන් මෙරටට ගෙන්වන ලද්දකි. 

පොහොර ගොඩබෑමෙි කටයුතු නිරීක්ෂණය සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය මොහාන් ද සිල්වා හා අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහත්වරුද අද සහභාගී වූහ.

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී පැවැසූයේ ලෝක වෙළෙඳ පොළේ යුරියා පොහොර මිල ඉහළ ගියත් මෙවරත් පොහොර මිටියක් රුපියල් 10,000ක මුදලට ලබා දෙන බවයි.

පසුගිය යළ කන්නයේ දී ලබා දුන් යුරියා පොහොර මිටිවල  නියමිත බර නැතැයි කියමින් සමහරු දොස් නැගූ බව කී අමාත්‍යවරයා මෙවර මාධ්‍ය ඉදිරියේ ම බර කිරා බැලූ බවද අහඹු ලෙස පරීක්ෂා කළ හැම පොහොර මිටියකම කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර තිබු බවද සඳහන් කළේය.


(ඡායාරූප: ශාන්ත රත්නායක)