(යොහාන් භාසුර)

‘කොවිඩ්’ වසංගතය හේතුවෙන් පාසල් වසා තැබීමෙන් 2021 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 90 කින් ද, සෙසු පළාත්වල දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සියයට 70 කින් ද, පාඩුවී ඇති බව මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල් සුනිල් ජයන්ත නවරත්න මහතා පැවසීය.

‘කොවිඩ්’ බලපෑමෙන් 2020 වසරේ බස්නාහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපනයට ඇතිවූ පාඩුව සියයට 55 ක් ද සෙසු පළාත්වල බලපෑම සියයට 45 ක් වන බව කී නවරත්න මහතා එම අධ්‍යාපන පාඩුව සති 20 ක් තුළ සම්පූර්ණ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශයට යෝජනා  ඉදිරිපත් කළ බව ද සඳහන් කළේය.

එම සති විස්සේ අධ්‍යාපන වැඩපිළිවෙළ යටතේ අත්‍යවශ්‍ය  කරුණු පමණක් ඉගැන්වීමට ගුරුවරුන්ට සහ විදුහල්පතිවරුන්ට උපදෙස් දුන් බවත් එම වැඩපිළිවෙළ මේ මස සිට ක්‍රියාත්මක කරන බවත් සුනිල් ජයන්ත නවරත්න මහතා  වැඩිදුරටත් කීය.