(යොහාන් භාසුර)

ලංකා ප්‍රීමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ - 2023 තෙවැනි තරගය ලෙස කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රී පැවැති දිනයේ දෙවැනි තරගයේදී කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ලකුණු 27 කින් බී - ලව් කැන්ඩි පිල පරාජය කිරීමට සමත් විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය බී - ලව් කැන්ඩි පිලට ඕවර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී රැස්කළ හැකි වූයේ ලකුණු 130 ක් පමණි.

යොවුන් වේග පන්දු යවන ක්‍රීඩක මතීෂ පතිරණ දක්‍ෂ පන්දු යැවීමක නිතර වෙමින් ලකුණු 24 කට කඩුලු 3 ක් දවාගැනීමට සමත් විය.

බාබර් අසාම් පන්දු 52 කදී හතරේ පහර 4 ක් සහ හයේ පහරක් සමගින් ලකුණු 59 ක් රැස්කරමින් පළමුව පන්දුවට පහර දුන් කලම්බු ස්ට්‍රයිකර්ස් පිලේ ඉහළතම ලකුණු ලාභියා බවට පත්විය. වේග පන්දු යවන ක්‍රීඩක ඉසුරු උදාන ලකුණු 39 කට කඩුලු 3 ක් දවාගත්තේය. කලම්බු ස්ට්‍රයිකර්ස් පිල ඕවර 20 කදී කඩුලු 6 ට 157 (බාබර් අසාම් 59, පැතුම් නිස්සංක 15, නුවනිඳු ප්‍රනාන්දු 28, ඉසුරු උදාන 39/3, මොහොමඩ් හස්නන් 27/2) බී - ලව් කැන්ඩි පිල ඕවර 20 කදී කඩුලු 8 ට 130 (ඇන්ජලෝ මැතිව්ස් 25, කමිඳු මෙන්ඩිස් 15, සෆ්රාස් අහ්මඩ් නොදැවී 16, ජෙෆ්රි වැන්ඩසේ 32/2, නසීම් ෂා 19/2, මතීෂ පතිරණ 24/3, මොහොමඩ් නවාස් 18/1)