( තිලකරත්න දිසානායක.)
 
කැලණිය ප්‍රදේශයේ  පවත්වාගෙන ගිය මහා පරිමාණයේ ව්‍යාජ ඖෂධ නිෂ්පාදනාගාරයක් ජාතික ඖෂධ නියාමන අධිකාරියට ලද තොරතුරකට අනුව එම අධිකාරියේ නිලධාරීහු සහ ගම්පහ දිස්ත්‍රික් ආහාර හා ඖෂධ පරීක්ෂකවරු අද (9) වැටලූහ.
 

කල්  ඉකුත්වූ කායවර්ධන කිරිපිටි වර්ගයක ඇසුරුම් ලේබල යොදා වෙළඳ පොලට නිකුත් කරනු ලබන බවට ලද තොරතුරක් මත අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කිරීමේදී මෙලෙස ඖෂධ නිෂ්පාදනය කරන බවද සොයා ගැනීමට හැකිවිය.
 
සිව්මහල් ගොඩනැගිල්ලක මෙම දිගු කාලයක් පුරා මෙම ජාවාරම කරමින් ව්‍යාජ හා ප්‍රමිතියෙන් තොර මෙන්ම කල් ඉකුත්වූ මෙම ඖෂධ යළි ඇසුරුම් කර දිවයින පුරා බෙදාහැර ඇති බවට මෙහෙයුම සිදුකළ  නිලධාරීහු සැක කරති. 
 
මෙම නිෂ්පාදනාගාරයේදී වේදනා නාශක ඖෂධ වර්ගය ඇතුළු ප්‍රතිජීවක ඖෂධ,  ශක්ති ජනක ආහාරමය පිටි වර්ග සහ විටමින් වර්ග සහිත ඖෂධ වර්ග 10 ක් පමණ මෙහිදී  නිෂ්පාදනය කර  ඇති බව අනාවරණයවු අතර මෙම ඖෂධ අතරින් ඇතැම් ඒවා ඉන්දියාවේ නිෂ්පාදනය කර ඇති බවට ලේබල් යොදා තිබු ආකාරයද නිලධාරීන්ට දැකගත හැකි විය. 
 
මෙම නිෂ්පාදනාගාරයේ හිමිකරුගෙන් ප්‍රශ්න  කිරීමේදී මොහුට ඖෂධ වර්ග කිහිපයක් නිෂ්පාදනය කිරීම පිණිස 2013 වසර දක්වා බලපත් ලබාදී තිබී ඇතත් එය අහෝසි  වූ පසුවද මෙලෙස ව්‍යාජ අන්දමින් නිෂ්පාදනය කර ඇති බව අනාවරණය වී යැයි නිෂ්පාදනාගාරය වැටලීම සිදුකළ ඖෂධ නියාමන අධිකාරියේ ප්‍රධාන ආහාර හා ඖෂධ පරීක්ෂක අමිත් පෙරේරා මහතා පැවසීය. 
 
කල් ඉකුත්වූ ඖෂධ යළි සකස් කර වෙළඳපොළට යැවීම මෙන්ම නිසි ප්‍රමිතියෙන් තොර ඖෂධ වර්ග පාරිභෝගිකයින් අතරට යැවීමට සැලැස්වීම දැඩි හානිකර තත්ත්වයක් බවද හෙතෙම සදහන් කළේය. රුපියල් කෝටි  ගණනක් වටිනා ඖෂධ සහ විටමින් වර්ග මෙහි තිබු අතර නිසි වටිනාකම ඊයේ සවස වන තුරුත් ගණනය කොට නොතිබිණි.  මෙම නිෂ්පාදනාගාරය පවත්වාගෙන ගිය පුද්ගලයා කොළඹට නුදුරු ප්‍රදේශයක පදිංචි ඉංජිනේරු වරයෙකු බව අනාවරණය වී තිබිණි. 
 
අදාළ නිෂ්පාදනාගාරය සහිත සිව්මහල් ගොඩනැගිල්ලට මුද්‍රා තැබීමට නිලධාරීන් විසින් පියවර ගනු ලැබූ අතර අත්අඩංගුවට ගන්නා ලද  නිෂ්පාදනාගාරය හිමිකරු බැදුම්කර  ඇපකරයක් මත මුදා හළ අතර නියම කරනු ලබන දිනකදී කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.