IMG-LOGO

කලාකරුවා මේ සමාජයේ ජීවත් වෙද්දී ඔහුටත් මුදල් අවශ්‍යයයි

2016-09-26-ent-35

මේරියන්ස් කණ්ඩායම් සංගීතය තුළින් මෙරට රසික ආදරයට පාත්‍ර වූ ඔහු මෑෂප් ගීත කලාව තුළින් බොහෝදෙනා දැන හඳුනාගනු ලැබීය. ශිවන්ත ප්‍රනාන්දු නම් වූ ඔහුගේ නවතම ගීතයක් පසුගිය සතියේ එළිදැක්වූ අතර, තවත් ගීතයක් ඉදිරියේදී එළිදැක්වීමට නියමිතව තිබේ. ශිවන්ත සිය සංගීත කටයුතු සහ අද වන විට සංගීත කලාව තුළ ඇති වෙනස පිළිබඳ කතාබහ කිරීමට "අද" සමග එක්වූ මොහොතකි මේ.

 

මුලින්ම අලුත් කලා කටයුතු ගැන කතා කළොත්?

2016-09-26-ent-33අලුත්ම ගීත දෙකක වැඩකටයුතු කළා. එයින් එක් ගීතයක් පසුගියදා එළිදැක්වුවා. ඒකෙ නම තමයි "පරවි මලක්". එය පදරචනා කළේ සම්පත් ප්‍රනාන්දුපුල්ලේ. තනු නිර්මාණය සහ සංගීත අධ්‍යක්ෂණය කළේ චතුරංගන ද සිල්වා. මේකෙ වීඩියෝව කළේ Angle 360 කියන වීඩියෝ කණ්ඩායමයි. අනෙක් ගීතය ගැන කියනවානම්, ඒකෙ වැඩකටයුතු තවම අවසන් නැහැ. ඒ ගීතය ලිව්වේ මිහිර බණ්ඩාර. තනුව සුරේන් දිසානායක. එහි වීඩියෝ කටයුතු සිදුකරන්නෙත් මිහිර විසින්මයි.

 

මෑෂප් ගීතයක් එළිදැක්වෙන්න නියමිතව තිබුණා නේද?

මගේ මෑෂප් ගීතයක වැඩ දැන් ඉවරයි. ඔරිජිනල් ගීතයේ වැඩ කලින් කෙරුණු නිසා මෑෂප් එක දැන්මම එළිදක්වන්නේ නැහැ. මෑෂප් ගීතය එළිදැක්වෙන්නේ මගේ ඔරිජිනල් ගීත දෙකම එළියට ආවට පස්සෙයි. සමහරවිට ලබන අවුරුද්ද මුල විතර වෙයි. කාලෙකින් මම ඔරිජිනල් ගීතයක් කරපු නැති හින්දා ඔරිජිනල් ගීත එළිදක්වන්න තමයි බලාපොරොත්තු වෙන්නේ.

 

ඔබගේ ඔරිජිනල් ගීත දෙකම එකම සංකල්පයක් ඔස්සේ නිර්මාණය වන ගීතයන්ද?

ටිකක් විතර එක වගේ ස්වරූපයක් තමයි තියෙන්නේ. එකක පොඩි විරහවක් පිළිබඳව තමයි කියවෙන්නේ. නමුත් අදෝනා විරහ ගීතයක් නෙමෙයි. "පරවි මලක්" ගීතයෙන් කියවෙන්නේ තමන් යාළුවෙලා හිටපු පෙම්වතිය වෙන කෙනෙක්ව කසාඳ බඳින්න යන කතාවක්. ඒකෙ පෙම්වතාට විරහව දැනෙන විදිහ තමයි ගීතය පුරා තියෙන්නෙ. මේක කිසිම අදෝනා සහගත ඇඬිල්ලක් නෙමෙයි. නමුත් විරහවක්.

මිහිර බණ්ඩාර ලියපු ගීතය ගැන කියනවානම් තරුණ කාලයේ තමුන් ආදරය කරන කෙනාට ආදරය ප්‍රකාශ කරගන්න බැරිව, ඔහු වයසට ගිහිල්ලත් මට තාම ඒ දේ කියාගන්න බැරිවෙච්ච දුකක් ගැන කියවෙන්නේ. මේ ගීත දෙකේ සම්පූර්ණ වෙනස් කතා දෙකක් තමයි කියවෙන්නේ.

 

අද ලංකාවේ බොහෝදුරට බිහිවන්නේ විරහව සහ අදෝනා යටතේ බිහිවන ගීතනේ. ඉතිං මේ රාමුවට නොවැටී ගීතයක් කරද්දී යම්කිසි අභියෝගයක් නැද්ද?

මටත් පැහැදිලිවම ඕන විරහ ගීතවලින් මිදෙන්න. මම මුලින්ම කරපු "බඹරුන්" ගීතයත් කරන්න හේතුවුණේ ඒ නිසයි. මට සල්ලි කෝටියක් දෙනවා කිව්වත් කොහොමත් මේ රැල්ලේ තියෙන විරහ ගීත නම් මම ගයන්නේ නෑ. පසුගිය දශකවලත් විරහ ගීත තිබුණා. මර්වින් පෙරේරා මහත්මයාගේ "මේ නගරය", මිල්ටන් මල්ලවආරච්චි මහත්මයාගේ "තනිවී සිටින්නයි මා අදහස් කළේ" යන ගීත ගනයට දාන්න පුළුවන් ගීත දෙකක් තමයි මම එළිදක්වන්න සූදානම් වන්නේ. එහි පද රචනාව ගත්තොත් "ඔයා මාව දාලා ගියා, මම අඬනවා" වගේ කතන්දරයක් නෙවෙයි ගීතවල තියෙන්නේ. ඒ ගණයේ ගීත මම පෞද්ගලිකව රසවිඳින්නේ නැති නිසා මගේ මුවින් ඒ වගේ ගීතයක් ගායනා කෙරෙන්නේ නැහැ.

 

ආදරය විරහව යන තේමාවන් යටතේ පමණද ඔබ ගීත නිර්මාණය කරන්නේ?

නැහැ. ඉදිරියේදී වෙනත් තේමාවක් යටතේ ගීතයක් නිර්මාණය වෙයි. මමම පදරචනය කරපු, මමම තනු නිර්මාණය කරපු ගීතයක් තියෙනවා. ඒකෙන් කියවෙන්නේ මගේ පාසල් කාලයේ පෞද්ගලික අත්දැකීමක්. වෙනස් මාතෘකා යටතේ ගීත කරන්න මම හරි ආසයි. එවැනි තවත් හොඳ පද රචනාවක් මට ලැබුණා. එහි කියවෙන්නේ "තාරුණ්‍යය හරවත් ලෙස ගතකළ යුතුයි" යන්න පිළිබඳව. ඒකෙ තනු නිර්මාණය කරන්න මම භාරදීලා තියෙනවා. මගේ මේ ගීත දෙකෙන් පස්සෙ එවැනි ගීත නිර්මාණය වේවි.

 

අද ලංකාවේ බිහිවන නවක කලාකරුවන් එක්තරා රැල්ලක් ඔස්සේ නිර්මාණ බිහිකරනවා. මෙවැනි ගීත ඇතැම් රසිකයන් වැළඳගන්නවා වගේම අත්හරින ප්‍රමාණයකුත් සිටිනවා. සංගීත ක්ෂේත්‍රය තුළ කාලයක් ඉන්න ඔබ මේ පිළිබඳව දකින්නේ කොහොමද?

ඕනෑම කාලයක් ගත්තොත් එක එක රැළි ඇවිත් තියෙනවා. එක කාලයක් සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම ගායකයන් එක්ක එකතුවෙලා කැසට් කරගෙන ආවා. එතකොට සන්ෆ්ලවර් රැල්ලක් ඇතිවුණා. ඒ සඳහා ඍණාත්මක හා ධනාත්මක ප්‍රතිචාර හුවමාරු වුණා. ඊට පස්සේ මල් සින්දු රැල්ලක් ආවා. එතකොට හැම ජාතියකම මලක් ගැන ගීත අපට අහන්න ලැබුණා. දැන් මේ ඇවිත් තියෙන්නේ විරහ ගීත රැල්ලක්. එවැනි රැලි ඇතිවෙනවා. මොකද එක ගීතයක් කුමන හෝ විදියකට ජනප්‍රිය වුණොත්, ඒකෙන් මුදල් උපයන්න පුළුවන් කියලා දැනුණොත් ගොඩක් අය යොමුවෙනවා ඒ සම්බන්ධ දේවල් කරන්න. ඒක වරදක් කියන්න බෑ. කලාකරුවා මේ සමාජයේ ජීවත් වෙද්දි ඔහුටත් මුදල් අවශ්‍යයයි. ඔහුත් බලන්නේ මුදල් උපයන්න. වැරැද්ද තියෙන්නේ සංගීතයේ නිර්මාණාත්මක බව පහළට දාලා නිර්මාණ කරන එකයි. රිගින්ටෝන් උදෙසාම නිර්මාණ කිරීමේදී තමයි මේ වැරැද්ද සිදුවෙන්නේ. ඒ දෙයින් මුදල් හම්බවුණාට නිර්මාණයක් හැටියට ගොඩක් අයට රසවිඳින්න අමාරුයි. ඒක ඒ අයත් දන්නවා.

නිර්මාණයක් කරද්දී ඒ අයගේ හෘදසාක්ෂියත් කතා කරනවා. මේක කරන්නේ රිගින් ටෝන් හින්දා මිසක් රසාස්වාදයක් නිසා නෙමෙයි කියලා ඔවුන් දන්නවා. අපිත් එක්කත් ඒ ගැන කතාකරලා තියෙනවා. අන්න එතෙනට වැටෙන්නයි හොඳ නැත්තේ. සංගීතඥයා හෝ ගායකයා ඒ දේ විඳලා ඉන්න ඕන. එයාට විඳින්න බැරිනම් සල්ලි මත්තෙම ගීතයක් එළියට දාන එක ලංකාවේ මිනිස්සුන්ගේ රසඥතාවයට කරන ලොකු අසාධාරණයක්. සමහර ජනප්‍රිය තලයේ ගීත වල ගායකයෝ එයාලාගේ ගීත එයාලම විඳින්නේ නෑ. එච්චරම වංක වෙන්න හොඳ නැහැ. තමන්ටවත් අවංක වෙන්නෙ නැතිව නිර්මාණ එළියට දාන එක මම නම් හොඳයි කියන්නෙ නැහැ. නමුත් රැළි බිහිවෙනවා. අපිට ඒක නවත්වන්න බැහැ.

මොකද කලාකරුවා ජීවත් වෙන්න ඕනේ, හම්බකරගන්න ඕනෙ. නිර්මාණය ගොඩක් බාල්දු කරලා සල්ලි හම්බකරන එකේ තමයි වැරැද්ද තියෙන්නේ. එහෙම නොකරනවානම් රැල්ලක් බිහිවන එකේ වරදක් මම දකින්නේ නැහැ.

 

ශිවන්ත කියන ගායකයා ගීතයක් නිර්මාණය කරන්නේ වාණිජකරණයට අසුවෙලා නෙමේද?

ඒ දේ ගැන කියනවානම්, මටත් තියෙනවා වියදම්. බිල් ගෙවන්න ඕනේ, සමාජේ අනිත් හැමෝටම වගේ තමයි මටත් කාර් එකට තෙල් ගහගන්න තියෙනවා, ලීසිං ගෙවන්න තියෙනවා. ඔය වගේ දේවල් නිසා මමත් අනිවාර්යෙන්ම වාණිජකරණයට හසුවෙනවා. හැමෝම තමන්ගේ දක්ෂතාවයක් විකුණලා තමයි මුදල් හොයන්නේ. හැම වෘත්තියකම යෙදෙන කෙනා තමුන් ප්‍රගුණ කරපු දෙයක් විකුණලා මුදල් හොයලා තමයි ජීවත් වෙන්නේ. එතකොට මමත් වාණිජකරණයට අසුවෙලා ඉවරයි. නමුත් එහෙමයි කියලා, මමවත් විඳින්නේ නැති ගීත එළියට දාලා මුදල් හම්බ කිරීමේ පරමාර්ථයක් පෞද්ගලිකව මට නැහැ. අන්න එතන පොඩි වෙනසක් තියෙනවා.

 

අද තරුණ පරම්පරාවට රස විඳින්නට ගීත බිහිවුණත් වැඩිහිටි පරම්පරාවට රසවිඳීමට ගීත බිහිවෙන්නේ නෑ කියලා චෝදනාවක් තියෙනවා?

අපේ දෙමව්පියන්ට, අපේ කලින් කලාකරුවන්ට ගීත සාහිත්‍යයක් තිබුණා. පදරචකයෙක් හරි, තනු නිර්මාණකරුවෙක් හරි ගීතයක් නිර්මාණය කරන්නේ ගීත සාහිත්‍යය පිළිබඳ දැනගෙනයි. ඔවුන් ඒ ආභාසය ලබාගෙන නිර්මාණයක් කරලා ඒ දේ එළියට දාපුවාම ඒ දේ රසවිඳින රසිකයා තුළත් යම්කිසි ගීත සාහිත්‍ය රසයක් බිහිවෙනවා. සරල ගීත ගැන කිව්වොත් ක්ලැරන්ස් විජේවර්ධන මහතා, රූකාන්ත ගුණතිලක මහත්මයා ගැන කියන්න පුළුවන්. ශාස්ත්‍රීය පැත්තෙන් අපි දන්නවා අමරදේව ශූරීන්, කේමදාස මාස්ටර්, සුනිල් එදිරිසිංහ, වික්ටර් රත්නායක වැනි අය ඉන්නවා.

ඒගොල්ලෝ ඒ පැති දෙකෙන්ම සුන්දර විදියට ගීත මිනිස්සුන්ට ලබාදුන්නා. ඔවුන් විඳිනගමන් අනිත් අයට විඳින්න ඉඩ ලබාදුන්නා. නමුත් දැන් රිගින්ටෝන් ප්‍රශ්නය නිසා අපිට විරහ ගීත පමණමයි අහන්න තියෙන්නේ. එනිසා අපිට මෙවැනි ගීත සාහිත්‍යයක් නැති වෙලා තියෙනවා. අපෙන් පස්සේ පරම්පරාව ආභාසය ගන්නේ මේ දැන් ඇහෙන ගීතවලින්. දැන් ඇහෙන ගීතවලින් ඔවුන් පිරුණාම ඔවුන් මොනවගේ නිර්මාණ කරයිද කියලා මට හිතාගන්න බෑ. පොඩි කාලේ අහපු පරණ සින්දු තියෙනවා. ඒවාගෙන් අපි පිරුණා වගේ, ඉස්සරහ පරම්පරාවට අහන්න තියෙන ගීත බැලුවාම හරි දුකක් දැනෙනවා. හැබැයි ගීත සාහිත්‍යයක් බිහිකරන්න උත්සාහ කරන තරුණ කලාකරුවෝ නැතුවාම නොවේ. ඔවුන්ට මාධ්‍ය‘යෙන් පවා හරි ඉඩක් හම්බවෙන්නේ නෑ.

 

ඔබේ රසිකයන් වෙනුවෙන් දෙයක් කියන්න තියෙනවාද?

අපේ රට දුප්පත් රටක්. අපේ මිනිස්සු කාර්යබහුලයි. ඔක්කෝටම කලින් ජීවත් වෙන්න මුදල් හොයාගන්න තමයි හැම කෙනාම බලන්නේ. ඒක සාධාරණයි. හොඳ නිර්මාණ හොය හොයා ඇවිදින්න ඒ අයට වෙලාවක් නෑ. ඒත් මම දැන් ඉන්න රසිකයන්ට ආරාධනා කරනවා කරුණාකරලා තනි තනියම හරි හොඳ නිර්මාණ හොයා රසවිඳින්න. ඒවා සමහර විට පැකේජ් ගහන සිංදු ලිස්ට්වල නැහැ. ටොප් චාර්ට් එකක් ගත්තොත් තියෙන්නෙම මුදල්ගෙවා ප්‍රචාරය කරන ගීත. ඒවා මම මේ කියන කලා රසය නැහැ. ඒ වගේ ගීත තියෙන්නේ හැංඟිලා.

සමහර විට යූටියුබ් එකේ තියෙන්නත් පුළුවන්. සමහරවිට එහෙන් මෙහෙන් හොයාගෙන අහන්න ඕනේ. එහෙම අහලා තමන්ගේ රසිකත්වය කලා රසය වැඩිකර ගන්න. එවැනි නිර්මාණ තාම තියෙනවා. ඒවා යටගිහින් හැංඟිලා තියෙන්නේ. අපිට නිතරම පේන්න අහන්න නැතිව ගියත් කරුණාකරලා ඒ දේවල් අහන්න. ඒවා වලින් තමන්ගේ රසිකත්වය පෝෂණය කරගන්න කියලයි මේ වෙලාවේ මගේ රසිකයන්ට කියන්න තියෙන්නේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත

 

2016-09-27-ent-57

2016-09-26-ent-34

related-ARTICAL

ශිවන්තගේ 'පරවි මලක්' 

 



අදහස් (0)

කලාකරුවා මේ සමාජයේ ජීවත් වෙද්දී ඔහුටත් මුදල් අවශ්‍යයයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 138 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 425 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site