(රෝෂන් තුෂාර)

නාගරික සංවර්ධන අධිකාරියට අයත් කොළඹ කොටුව ට්‍රාන්ස්වක් චතුරශ්‍රය ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ක් පුද්ගලික සමාගමට( krrish transworks colombo (pvt) ltd ) බදු දීමේදී අල්ලස් ලබා ගත්තේ යැයි කියන නාමල් රාජපක්ෂ ඇතුළු සිව් දෙනෙකුට එරෙහි නඩුව හෙට (29)දින කැඳවීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම මහතා අද (28) දින නියම කළේය.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ පැමිණිල්ලේ සැකකරුවකු ලෙස නම්කර ඇති පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අදාළ නඩුවට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරීවරයාට නියෝගයක්ද නිකුත් කළේය.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාළ පැමිණිල්ල ලබන 06 දින කැඳවීමට අධිකරණය මීට පෙර දින නියම කර තිබූ අතර අල්ලස් කොමිසම ගොනු කළ විශේෂ මෝසමක් සලකා බැලීමෙන් පසුව මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

අල්ලස් කොමිෂම අධිකරණයට කරුණු දක්වමින් සඳහන් කර සිටියේ එයාර් බස් ගනුදෙනුවට අදාළ අල්ලස් නඩුවේ සැකකරුවකුව රක්ෂිත බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ හෙට (29) දිනයේ එම නඩුවට විවෘත අධිකරණයට ඉදිරිපත් කරන බවය.

ක්‍රිෂ් ගනුදෙනුවට අදාල අල්ලස් නඩුව ලබන 06 වෙනි දින කැඳවීමට නියමිතව ඇති බවත්, නාමල් රාජපක්ෂ සැකකරු හෙට දින අධිකරණයට ඉදිරිපත් කරන බැවින් ක්‍රිෂ් ගනුදෙනුවට අදාල අල්ලස් නඩුව හෙට (29) දින කැඳවීමට දින නියම කරන ලෙසත් ඉල්ලා සිටියේය. ඒ අනුව එයාර් බස් ගනුදෙනු නඩූවට අධිකරණයට රැගෙන එන නාමල් රාජපක්ෂ සැකකරු ක්‍රිස් පැමිණිල්ලට ඉදිරිපත් කරන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කරන ලෙසද ඉල්ලා සිටියේය.