තංගල්ල නේචර් රිසෝට් හෝටලයේදී   2011 නත්තල් දිනයේදී කුරාම් ෂෙයික්  ක්ෂණිකවම මිය ගියේ ඔහුගේ නළලට වැදුණු වෙඩිල්ලෙන් නොව මුහුණට එල්ළ වු පිහි පහරින් යැයි තංගල්ල රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය කිත්තිසිරි විජේවීර  කොළඹ මහාධිකරණයේ සාක්කි දෙමින් ප්‍රකාශ කළේය.

දැනට බදුල්ල රෝහලේ සේවය කරන දොස්තර විජේවීර රෝහිණි වල්ගම මහාධිකරණ විනිසුරුවරිය ඉදිරියේ සාක්කි දුන්නේය.

තංගල්ල ප්‍රාදේශිය සභාවේ සභාපති සම්පත් චන්ද්‍රගුප්ත විදානපතිරණ  ඇතුළු හය දෙනෙක් ෂෙයික් මරා දැමීම හා ඇගේ පෙම්වතිය වික්ටෝරියා කෙළෙසීම සම්බන්ධයෙන් ඔවුහු චෝදනා ලැබ සිටිති.

කුරාම් ෂෙයික්ගේ සිරුරේ තුවාල 42 ක් තිබු බවත් නළලට වෙඩි වදින්නට ඇත්තේ ටී පනස් හය අවියකින් විය හැකි බවත් ඔහු කීවේය.

නහය ළගින් වැදුණු පිහි පහරින්  ශිරාවක් හා ධමනියක් කැපීමෙන්  මොළයට ලේ  ගමන නතර වීමෙන්  එකෙණෙහිම මරණය සිදු වී ඇති බවත් වෛද්‍යවරයා  පැවසීය.

සිරුරේ අනෙක් තුවාලද මාරාන්තික විය හැකි බවත් එවැනි තුවාල වලින් මරණය සිදු වනුයේ අභ්‍යන්තර ලේ වහනයෙන් බවත් වෛද්‍යවරයා කීවේය.

කුරාම් ෂෙයික්ගේ අවසන් ආහාරයෙන් පැය භාගයකට පසු ඔහගේ මරණය සිදු වන්නට ඇතැයිද වෛද්‍ය විජේවීර කීහ.

වැඩිදුර විභාගය බදාදාට  කල් තැබිණි