කුරුණෑගල සර් ජෝන් කොතලාවල විදුහලේ හිටපු විදුහල්පති සමන් ඉන්ද්‍රරත්න  ලබන 11 වැනි දා තෙක්  රිමාන්ඩ් කරන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා අද නියෝග කළේය.

මෙම විදුහලේ වෙනූෂා ඉන්දීවරී ශිෂ්‍යාව දිවි නසා ගැනීමේ සිද්ධියෙන් පසු ඇති වූ තත්ත්වය සම්බන්ධයෙන් ඇප මත මුදා හැර සිටි සැකකරු සාක්කිකරුවනට තර්ජනය කළැයි පැමිණිල්ලෙන් කරුණු දැක්වීමෙන් පසු ඔහු රිමාන්ඩ් කැරිණි.

සාක්කිකරුවනට තර්ජනය නොකරණ ලෙස අධිකරණය දෙවතාවක්ම ඔහුට නියෝග කර තිබිණි.

හිටපු විදුහල්පති ඔහුගේ ජංගම දුරකතනයෙන් සාක්කිකරුවනට තර්ජනය කර ඇති බව දුරකතන සමාගමෙන් ලබා ගත් වාර්තා ද සමග පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කළේය.

හිටපු විදුහල්පති, දැරියගේ මවට ජංගම දුරකතනයෙන් තර්ජනය කිරීමට යොදා ගත් සිම් කාඩ්පත වෙනත් පාසලක සිසුවකුගේ හැඳුනුම්පත් අංකය භාවිත කරමින් ව්‍යාජ ලෙස ලබාගෙන ඇතැයි ද පැමිණිල්ල අධිකරණයට දැන්වීය.

සැකකරුගේ නීතීඥ කීර්ති පී දුණුසිංහ මහතා පැවසුවේ ඔහු සාක්කිකරුවනට හෝ වෙනත් කිසිවකුට තර්ජනය නොකළ බවයි.