කෘමි  සතුන් සහිත සහල් කිලෝ එක් ලක්ෂ හතළිස් දහසක් ගබඩා කර අලෙවි කළැයි අනුරාධපුර හරිශ්චන්ද්‍ර මාවත සතොස ගබඩාවේ කළමනාකාරිය  සහ නව බස්නැවතුම්පොළ සතොස කළමනාකාරවරිය ඇප මත මුදා හරින ලෙස අනුරාධපුර අතිරේක මහේස්ත‍්‍රාත් නදීකා ඩී.පියරත්න මහත්මිය නියෝග කළාය.

දිනුෂි දසනායක හා ඉෂාරා මහානාම කළමනාකාරවරියන් දෙදෙනාට වෙන් වෙන්ව  රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප නියම විය.

මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් බාරයට ගෙන මුද්‍රා තබා ඇති මහජන පරිභෝජනයට නුසුදුසු සහල් සාම්පල රජයේ රස පරික්ෂක වෙත යවන ලෙසද නියෝග කැරිණි.

නාගරික කොමසාරිස් සම්පත්  රෝහණ ධර්මදාස මහතාගේ උපදෙස් මත අනුරාධපුර මහ නගර සභා සෞඛ්‍ය අංශයේ ජ්‍යෙෂ්ඨ මහජන සෞඛ්‍ය පරික්ෂක ඩබ්.ඩී.එස්.කේ.අබේවික‍්‍රම සහ මහජන සෞඛ්‍ය පරික්ෂක නුවන් ඩී.කුලතුංග යන මහත්වරු පරීක්ෂණ පවත්වති.