මෙකී සමය තරම් ගතට සුවදායක, නෙතට රසඳුනක් වූ තවත් සමයක් නැති තරම්ය. උයන් පුරා - මාවත් අද්දර, සමනොළ වර්ණයෙන් පූදින නේක විධ මල් පළින් බර ගස්, මේ සියල්ලෙහි පහස විඳින සියොතුන්, ආදී ඒ සියල්ල සැබැවින්ම සුන්දර සිතුවමක් වැන්න.
උදා වූ මේ වසන්තයේ කැනඩා දේශය සැණකෙළි අසිරියෙන් පිරීයයි. ටොරොන්ටෝ බීච් සැණකෙළිය, ආදී විවිධ සැණකෙළි විවිධ නගර වලදී පැවැත්වෙයි. ළමුනට දිව්‍යලෝකයක සතුට දන වන වොන්ඩර්ලෑන්ඞ් තවත් කදිම ස්ථානයකි. මේ වසන්ත සමය කෙතරම් දිගුද කිවහොත් රාත‍්‍රිය එළැඹෙන්නේ රාත‍්‍රී 9.30ට පමණය. එනම් කළුවර වැටෙන්නේ එම වෙලාව පමණ වන විටය. හිරු වෙනදාට වඩා උදෑසනින් විවර වේ. කළුවරට වඩා දහවලට ස්වභාව ධර්මය එලෙසින් සොබා දහමේ අසිරියට ඉඩ දී ඇත. සෑම ජුනි මාසයකදීම වාගේ කැනඩාවට ලෝ පුරා සිටින සංචාරකයින් පොකුරු පිටින් රොද බඳින්නේ මේ අසිරිය විඳගැනීමටය.
මෙලෙසින් වසන්තය එළැඹෙන කළ තුටින් සිටින - එරට සිටින ශ්‍රී ලාංකිකයෝ මෙවර මෙම වසන්තය එළැඹෙන තෙක් බලා සිටියේ පුදුමාකාර වූ සොම්නසකිනි. ඒ වෙන කිසිවක් නිසා නොව, ඇය ඔවුන’තරට පැමිණෙන වග දන්නා නිසාය. වසන්තයේ කෝකිලාවිය සිය ස්වර්ණ - වර්ණ ස්වරය මුදා
හරින්නට පැමිණෙන වග දන්නා නිසාය. එය ඔවුනට සතුටකට එහා ගිය අභිමනකි. ඒ අභිමනට හේතුව දේශානුරාගය විය හැකිය. ආදරය, සුන්දරත්වය, ජීවිතය නිසා විය හැකිය, හදවතට - මනසට - පමණක් නොව ආත්මයට සමීපව දශක පහක් ඔස්සේ ඒ හඬ ආස්වාදය කළ නිසා විය හැකිය. ඕ විශාරද නන්දා මාලනියයි. කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් මෙලෙස දෑස් දල්වා බලා සිටින්නේ ඇය පැමිණෙන තුරුය. ඇය එහි එන්නේ තනිවම නොවේ. ශ්‍රී ලාංකීය සංගීතයේ සොඳුරුතම සළකුණු තැබූ, ජාත්‍යන්තර සළකුණ රෝහණ වීරසිංහයන් මෙන්ම සංගීතයේ වත්මන් පරපුරේ ආඩම්බරය වූ සුරේෂ් මාලියද්දේ මෙන්ම තබ්ලාව අපූර්වතම උරුමයක් කරගත් ධනංජය සෝමසිරි, සහ ගිටාර් වාදනයේ ප‍්‍රවීණත්වය අපූරුවට මුදා හරින මහේන්ද්‍ර පැස්කුවල් ද සමගය. එලෙසින් කැනඩාවට යන විශාරද නන්දා මාලනිය ගී ගයන ප‍්‍රසංග මාලාවක් එහිදී පැවැත්වීම මේ වසන්තයේ උදානයට හේතුවකි. අද (9) ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යන මේ පිරිස ජුනි 14 වැනිදා කැල්ගර් හිදී ප‍්‍රථම ප‍්‍රසංගයට සහභාගිවීමට නියමිතය. ජුනි 15 වැනිදා දෙවැන්න පැවැත්වෙන්නේ මැනිටෝබා නගරයේදීය.
ජුනි 16 වැනිදා වැන්කුවර් නගරයේදීත්, 22 වැනිදා ටොරොන්ටෝ හිදීත්, 23 වැනිදා මොන්ටි‍්‍රයල් නගරයේදීත් අනෙකුත් ප‍්‍රසංග පැවැත්වේ.
මෙකී සියල්ලෙහි ප‍්‍රධාන සංවිධායකවරයා වන්නේ ටොරොන්ටෝ නගරයේ වොයිස් ඔෆ් ලංකා(Voice of lanka) FM සේවය බාරව සිටින රංජිත් වික‍්‍රමසිංහ නමැති රසවතාය,. එරට වෙසෙන ශ්‍රී ලාංකිකයින්ගේ රසඥතාවය වෙනුවෙන්, නිබඳව කැප වී සිටින රංජිත් වික‍්‍රමසිංහ අපූරු ශ්‍රී ලාංකිකයෙකි. ඔහු ඇතුළු වොයිස් ඔෆ් ලංකා හි අනෙකුත් සියල්ලන්ට අමතරව ටොරොන්ටෝවේ වෙසෙන අපේ කලා කරුවන් සමඟ ගහට පොත්ත සේ බැඳී සිටින සුදේශ් මුතු රසවතාද මතක් කළ යුතුමය.
මෙකී සියලූ දෙනාගේ ආරාධනයෙන් විශාරද නන්දා මාලනිය මෙවර කැනඩාවට ගියත්, මීට පෙර ගිය අතීතය ඇය සිහිපත් කළේ මෙලෙසිනි.
‘‘මීට වසර දහයකට විතර පෙරදීත්, සුන්දර කැනඩා දේශයේ පැවැත්වූ ප‍්‍රසංගවලට සහභාගි වුණා. මෙවර එහි යන්නේ තුන්වැනි වතාවටයි. නමුත් කැල්ගරි සහ මොනිටොබෝ නගරයේ පැවැත්වෙන ප‍්‍රසංග වලට සහභාගි වන්නේ ප‍්‍රථම වතාවටයි. මට දැන ගන්න ලැබුණු විදියට මේ සියලූම නගරවල පැවැත්වෙන ප‍්‍රසංග සඳහා දැනටමත් ප‍්‍රවේශපත් සියල්ල විකිණී අවසන්. ඇත්තටම ඒ රසිකත්වයට මා ගරු කරනවා. ඒ විතරක් නොවෙයි, කුඩා දරුවාගේ සිට, තාරුණ්‍යයේ මෙන්ම වයසින් මුහුකුරා ගිය අයගේ රසඥතාවයට ගැලපෙන පරිදි ගීත 25ක් විතර එහිදී ගයනවා. එරට සිටින නැටුමට - වැයුමට දක්‍ෂ අපේ දු - දරුවන් පවා විවිධ අංගවලට දායකවේවි. කැනඩාවට ගිහින් සිටින අපේ ප‍්‍රවීණ සංගීත ශිල්පීන් පවා සහභාගි වේවි. කැනඩාව මට කෙදිනකවත් අමතක කරන්න බැරි මේ අපූරු රසිකත්වය ඇති ශ්‍රී ලාංකිකයින් නිසයි. අප පැමිණෙනතුරු මග බලා සිටින, අපට උණුසුම් හැඟීමකින් සංග‍්‍රහ කිරීමට බලා සිටින ඒ අය වෙනුවෙන් සුන්දර ප‍්‍රසංගයක් කිරීම අපේ අරමුණයි.
වසන්තයේ කෝකිලාවිය එලෙසින් කැනඩාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් පිනවා ඊළඟට පියමං කරන්නේ ලන්ඩනය බලාය. එහිදීත් ප‍්‍රසංග කීපයකට ඇය සහභාගි වීමට නියමිතය. ඒ ‘ගී අමා’ ප‍්‍රසංගය වෙනුවෙනි. එහිදී එම ප‍්‍රසංගය පැවැත්වෙන්නේ ආචාර්ය වික්ටර් රත්නායක නමැති සොඳුරුතම වූත් සුමිහිරි වූත්, අපූර්වතම ගායකයාණන් සමගය. විශාරද නන්දා මාලිනිය එලෙසින් එංගලන්තයට පැමිණෙන්නේ ප‍්‍රසංගය සඳහා අට වැනි වතාවටය. එහිදී පැවැත්වෙන ප‍්‍රසංගය සඳහා සංගීත අධ්‍යක්‍ෂණය සුරේෂ් මාලියද්දේ ගෙනි. ඊට අමතරව රුක්ෂාන් ගුණවර්ධන, ප‍්‍රියන්ත දසනායක සහ නිහාල් කළුබෝවිල ද සංගීතයෙන් ඊට දායක වෙති. ආර්ට් ලංකා මෙම ප‍්‍රසංගය සංවිධානය කරන අතර, එහි ප‍්‍රධානියා වන්නේ ප‍්‍රසාද් ඔලැන්ඩෝය. මෙම සංවිධානයේ ආරම්භක සාමාජික ප‍්‍රිය විජය ෆොන්සේකා සහ පේ‍්‍රමා ගනේගොඩ යුවළඳ මීට උපදෙස් ලබා දී ඇත. අටවැනි වතාවට එංගලන්තයට යන නන්දා මාලිනියට පැරණි මතකයන් සිහිපත් වූයේ මෙලෙසිනි.
‘‘මුලින්ම ප‍්‍රසංගයක් සඳහා එංගලන්තයට ගියේ 1979 දීයි. එදා එංගලන්තයේ පුවත්පතක පළව තිබුණේ, එංගලන්තයට හැමූ කුණාටුව කියලයි. ඒ තරමටම ලොකු පිබිදීමක් ඇතිව පැවැත්වූ ප‍්‍රසංගයක් වුණා. එදා එම ප‍්‍රසංගය නිසා එරට විසූ අපේ ලාංකිකයින් සතුට වැඩිකමට මා සිප වැළඳ ගනිමින් සමුදුන් ආකාරය මට අද වගේ මතකයි. සැබැවින්ම අපේ ශ්‍රී ලාංකිකයින් වෙසෙන සෑම පිටරටකටම ගියාම අපට ලැබෙන්නේ මේ වගේ උණුසුම් හැඟුමන් - උණුසුම් ප‍්‍රතිචාර.
ඉදින් සබඳ වසන්තයේදී හමුවන ඇය ගයන ගී රිසි සේ විඳින්නට දැන් ඔබට අවසර.... තරුද නිදන මහ රෑක, සීතල සඳ රේඛාවක් ලෙස ඇවිත් ඇය ඔබ හද විල කළඹා වි..... ජීවිතයේ අරුතද කියාදේවි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චිරන් ජයතු !(නදී)
විශාරද නන්ද මාලිනිය කියන්නේ වර්තමානේ අපේ රටේ ඉන්න ජාතික වස්තුවක් ඇයගෙ හැකියාව පමණක් නොව නිහතමානී කම ශ්‍රී ලාංකික ගායන ශේස්තරය තුල පෙන්නුවා ඔබට අපගේ ප්‍රණාමය ජය වේවා! (අ)
ගීතය, ස්වරය, තනුව, ස්වකීය අවිය කරගත් සමාජ ස්තර වල ඇති පැහැදිලි වෙනසට ගීතයේ කෙලි තුඩින් ඔච්චම් කළ හෙළ අඹරේ නොනිමෙන පහන් සිළුව ඔබයි.ගීතය ජනයාගේ සවනට පමණක් නොව හදවතේ ඇති ගැඹුරුම පත්ලට කිඳා බස්සවා සමස්ත රසික ජනතාවම මුසපත් කළ, රසවත් කළ, සුවපත් කළ , දැහැන් ගත කළ යුගයේ විරජමානිකාව.ඔබට පිදෙන හද පත්ලෙන් ඉස්මතු වෙන නිහතමානි උත්තමාචාරයයි මේ. (නි)
මගේ කැමතිම ගායිකාව (දී)
1989 වක වනුවේ මගේ අක්කා සංගීතයට ගොඩක් ආසා කරා. ඔබ තුමියට අපේ පුද්ගලික ප්‍රස්න ගැන දැනගන නොමිලයේ මගේ අක්කට සංගීතය හදාරන්න අවස්ථව උදා කර දුන්නා. ඔබ ගැන කියන්න මට වචන නැහැ. උතුම් ගායිකාව ඔබයි චිරන් ජයතු!(නදී)
ජුනි 15 දා, ඔබ කිවූ පරිදි අම්මාට උපමා කරන්න කිසි වචනයක්/කෙනෙක් නැහැ. නමුත් නන්දා මාලනී තිරයේ පිටිපස්සේ සිට එලියට එනවිට දැනුනේ අම්මා දැක්ක තරම් සතුටක්. හොඳ සිහිනයක් සැබෑ වුන අවස්ථාවක්. ඒ නිහතමානි කාන්තාව අපේ ලාංකීය සමාජයට කරලා තියෙන/කරන මෙහවර අපමණි. පැය තුන හමාරක් විතර අපිව ඒ විවිධ වර්ගයේ ගීත වලින් ඇද බැද තබගත්තා. කීව හැම ගීතයකම හරවත් පණිවිඩයක් තිබුනා. රෝහණ ගේ සංගීතයෙන් ශාලාව පිරිලා තිබුනා, හරිම සෞම්‍යයයි. ඔබේ සංචාරයේ ඉතිරි කොටසේදීත්, අල්බෙර්ට වලදී වගේ, ඔබලාට සතුටු පිරුන අත්දැකීම් වලට මුහුණ දෙන්න ලැබේවා කියලත්, ඔබට නිරෝගී බවත් ප්‍රර්ථනා කරනවා. (නි)
අපි ඉතාම අසාවෙන් බලාගෙන ඉන්නේ, අසු ගණන් වලදී පේරාදෙණියේදී සජීවීව දැක්කට පස්සේ, ජුනි 15 කැල්ගරි ගීත අසන්න. කිලෝ මීටර 300 ක් ගෙවලා අපි කැල්ගරි එන්නේ ඔබේ සේවයට උපහාරයක් වශයෙනි. ඔබ සහ අනෙකුත් විශිෂ්ට ගනයේ සංගීතවේදීන් නිසා අපේ ජීවිත වලට ලැබී ඇති සතුට, සැනසුම වචනයෙන් කියන්න බැරි තරම්. කවදාක හරි ආයෙත් වික්ටර්ගේ මදුර කටහඩත් සජීවීව අසන්න බලන් ඉන්නවා. (නි)
අපි ඒ අතින් වාසනාවන්තයි. කැල්ගරි වල නම් එක නැටුමක්වත් තිබුනේ නැහැ. නමුත් මෙම ප්‍රසංගයන් තියෙන නගර වල ඉන්න දරු දැරියන්ගේ පැත්තෙන් හිතුවොත්, නන්දා මාලනී ඉදිරිපිට පොඩි හෝ නැටුමක් ඉදිරපත් කරන්න ඒ අයට ලැබෙන එක මහත් සතුටක් වෙන්න ඇති. මට හිතුන හැටියට නම්, ප්‍රසංගය වෙලාවේ ලෝකය පෙරලුනත්, මගේ රසවින්දනයට බාදාවක් වුනේ නැහැ. ඔබ දකින, අහන අසන දේ දිහා පමණක් අවදානය යොමු කරන්න. සතියකට පස්සේ කැල්ගරි වලට ගංවතුර, ශාලාව අඩි 10 ක් වතුරෙන් යට වෙලා. ලන්ඩන් වල ප්‍රසංගය තවත් රසවත් වේවි වික්ටර් සමග එක්ව ගීත ගයන විට. සුදු මුතු මාල පළන්දා...... සුබ පැතුම්! (නි)
නන්ද මලානි මහත්මියනි. දැන් දැන් රටේ වෙන දේවල් බලද්දී අර සිංහල ද්‍රවිඩ මුස්ලිම් කල්‍යාන මිතුරනේ, මොනොලියානුවනේ, පිළිම නෙලා නැති විරුවන් වගේ ගීත එදාට වඩා අද ජීවමානයි. ඔබට තව ශක්තිය ලැබේවා.(නදී)
මම වැන්කුවර් ප්‍රසංගය බැලුවා. ඉහත සඳහන් කර ඇති සියලුම අදහස් වලට එකඟ වන අතරම මට හැඟුණ දෙයකුත් සඳහන් කරන්න කැමතියි. ඔබේ ගීත සඳහා නැටුම් යොදා ගැනීමෙන් වලකින්න. එයින් ඔබේ ගීත වල ගුණාත්මක බව, ගැඹුරු හැගීම්බර බව අඩුවෙනවා. සාරි පොඩිත්තක් වගේ සරල අර්ථයක් ඇති ගීයකට එය ප්‍රශ්නයක් නොවුනත් තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් වගේ ගීතයකට නම් එය කොහෙත්ම ගැලපුනේ නැහැ. ඔබත් එය තේරුම් ගත් නිසා වෙන්න ඇති නැටුම බලන්නේ නැතිව ගීතය අහන්න කියා කිවුවේ. කොහොම වුනත් සංවිධායකවරුනුත් මේ ගැන තව ටිකක් හිතන්න තිබුණා. (නි)
අම්මේ, ඔබේ හඬ සිහින කවියකි. කටුක දිවියට, පහන් කණුවකි. පාර පෙන්වන, සහන් එළියකි සසර අඳුරට. (නි)
මේ ගීතය ඔබ ගැයුවේ ඊනියා බෞද්ධයන්ටයි. පුජාසනයේ කුහුඹු පිරිස මැද පිළුණු වෙමින් යයි සුරත බොජුන්... බෝමැඩ වගුරන කිරිකල දහරින් වැලි මළුවේ කිරි දියර ගලායයි... පින්නෙක කිරි කදුලක් පින්වතුනේ... කිරට හදන මගේ බිලිදුට දෙන්නට... (වෙසක් පොසොන් වලට දන්සල් දෙන උදවියට ඕනෑ නම් හැදෙන්න මේ ගීතයම ඇති.) (නි)
රට කරනවානම් ගීතය පුද්ගලීකකරණය අවංඥාවට ලක් කළා. පිරිමින්ට යෙහෙලියන් වුවත් ප්‍රේමයට ඇරයුම් නොලබන තරුණියන්ගේ කතාව ඔසරි පොටෙන් අදන්නෙපා ගීයෙන් අගේට කියවෙනවා. නිල් ලතා කලා පුර අලංකාර දේශාභිමාණී ගීතයක්. ඔබේ ගීත වගේම සුදු ඔසරියටත් මම ආසයි. මගේ අදහස ඔබ කොන්ඩේ ගොතන්නේ නැතුව ගෙඩියක් බදිනවා නම් අර්ථවත් ගීවලට වඩාත් ගැලපෙනවා.(නදී)
මේ සටහන මම හදවතින්ම ලිව්වා සටහනක්. මම ආසයි අපේ පාඨකයින්ට සතුට ගෙන දෙන්න. හැමෝටම බොහොම ස්තුතියි.(නදී)
කැනඩාවේ ජීවත් වන අපට සඳුන් ගමගේ ගේ සටහන හදවතට ම දැනෙන සටහනක්. මේ සංගීත ප්‍රසංගය ජුනි 15 කැල්ගරි දී රස විදීමට අවස්ථාව ලැබුන. නන්ද මාලනි මහත්මියනි, ඔබේ සංගීත ප්‍රසංගය ඉතා උසස් ප්‍රසංගයක්. අපට අප්‍රමාන සන්තෝෂයි. නන්ද මාලිනිය උචිත ලෙස ගීත 25ක් ගයනා කළා. සියලුම ගීත වලට පෙරවදනක් ඉදිරි පත් කලා. අපට හැඟුනේ එතුමිය කදිම නිවෙදිකාවක් ලෙස. සමහර ගීතවල නිදාන කතාව කිව්වා. මහාචාර්ය සුනිල් ආරියරත්න සමග ඉන්දියාවට පැන යන්න වුන හේතුව, මහාචාර්ය කාර්ලෝ ෆොන්සේකාගේ රත්තරන් දුවේ ගීතය ලියවීමට තෙරපුණ අදහස් ඉතා ලස්සනට ඉදිරිපත් කළා. ඔබගේ ගීත සදා අමරණීයයි. ඔබගේ හඩ සදා අමරණීයයි ඇ ප්‍රසංගය අවසන් කලේ තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටව් ගීතයෙනි. ගීතයට පෙර ඇ ශ්‍රී ලංකාවේ වර්තමාන තත්වය පහදා දුන්නා. වීදේශ ගත වූ සැමට නැවත ශ්‍රී ලංකාවට ඇවිත් සේවය ලබාදෙන ලෙසට ආරාධනා කළා . එය අපට ඉතා හැගුම්බර වූ මොහොතක් වුනා. ශ්‍රී ලංකාවෙදිවත් නන්ද මාලිනිය ගේ සංගීත ප්‍රසංගයක් නැරබීමට නොහැකිවූ අපට ඉතා නැවුම් අත්දැකීමක්. ප්‍රසංගය අවසානයේදී නන්ද මාලිනිය සහ රෝහණ වීරසිංහ මහාතා හත සමග කතා කිරීමට අවස්ථාව ලැබුනත් සතුට වැඩිකමට වචන නැති උන. ආනන්දනීය සංගීත ප්‍රසංගයක් සංවිදානය කල සැමට පින්.(අ)
ඔබගේ ගීත සදා අමරණීයයි. ඔබ ශ්‍රී ලාංකික අපට මහගු සමිපතක්.(නදී)
මේ වෙද්දී කමෙන්ට් 32 තියනවා. කිසි කෙනෙක් වරදක් කියල තියනවද. ඒ අයි කියල අලුත් පරම්පරාව හිතල බැලුවොත් නරකද...රසිකයන්ගේ හදවතේ ගැඹුරුම තැන ජිවත් වෙන්න මෙවන් අසහාය පුද්ගලයන්ගේ ඉගනගැනීමේ නිහතමානි කම අලුත් කලාකරුවන්ට පහල වේවා. (අ)
රෝහණ වීරසින්හයනත් පිදෙන උත්තමාචරයයි මේ.(අ)
රට කරවන්න නම් ගීයෙන් පුද්ගලිකකරණය අවඥාවට ලක් කළා. යෙහෙලියන් ලෙස ඇසුරු කලත් ප්‍රේම ආරාධනා නොලබන තරුණියන්ගේ කතාව ඔසරි පොටින් අදින්නෙපා ගීයෙන් අගේට නිරූපනය වුණා. නිල් ලතා තලා පුරා ගීය ලස්සන දේශාභිමාන ගීයක්. ඔබතුමියව අපි අගය කරනවා. ගීත වලට වගේම සුදු ඔසරියටත් මම ආසයි. මම හිතන්නේ ඔබතුමිය කොන්ඩේ ගොතන්නෙ නැතුව ගෙඩියක් බඳිනවා නම් ඔබතුමියට වඩාත් ගැලපෙනවා. (නි)
නන්දා මාලිනියනි, ඔබතුමියගේ විදෙස් සංචාරය කිසිදු කරදරයක් නොවී සාර්ථක වේවා! (නි)
සදාදරණිය නන්ද මලානි මහත්මිය... මේ අද මා කියවන සතුටුදායකම පුවතයි.ඔබව මෙහෙ පැමිණීම ගැන අප්‍රමාන සන්තෝෂයි. ගිය වතාවේ ලංකාවේදී වසර2ට කලින් ඔබව දුටුවා මාතලේ බර්නාඩ් ශාලාවේදී.89 පේරාදෙණියේදී ඇසුන ගාම්බිර හඩ අදත් එසේමයි. ඔබ මගේ ආයුෂත් අරන් ජිවත් වේවා. (ස)
ගීත කොකිලාවියේ, ඔබ ලන්ඩන් වලට එනතුරු ඇගිලි ගනිමින් අපි බලා සිටිනවා. නමුත් ඔබතුමියගේ මධුර මනහර ගීතවල රසවින්දනය ලබන්න බාධාවක් වේදෝ කියලා හිතන්නේ ගීත සදහා නැටුම් යොදාගනීවිද කියලා.වික්ටර් කිවුවා වගේ ඔබේ ගීතවල ගුණාත්මක බව අඩු වෙනවා එහෙම වුනොත් නම්. 'අම්මාවරුනේ.....' ගීතයේ පසුබිම වගේ නම් කමක් නැහැ. (නි)
ප්‍රතිපත්ති පාවා නොදුන් ශ්‍රේෂ්ට කලාකරුවන් අතලොස්ස අතරේ ඔබ ඉහලින්ම ඉන්නවා. ඔබේ දේශප්‍ප්‍රේමය සදා විරාජමාන වෙන්නේ ඒ නිසයි. දානපති පාලකයන්ට වගේම මෝහෙන් පිරුණු නිර්දනයන්ටත්, දනය රැස් කරන පන්සලට වගේම පල්ලියටත් වර්ගවාදී ගොත්‍රවාදින්ටත් ඔබ ගැසූ පහරින් තාම රිදුම් දෙනවා.(නදී)
නන්ද මාලනිය ශ්‍රී ලංකාවෙන් බිහිවූ ශ්‍රේෂ්ටතම ගායිකාවකි. ඒ හඬ ඒ ස්වරය ඒ ශක්තිය නුදුරේදි බිහිවේවි යැයි හිතන්නට බැහැ. සිංහලයේ යශෝරාවය නන්දා මාලිනියයි. (නි)
මේ ලොව ඇසු දුටු එකම උතුම් කටහඩ ඇති උතුම් ගායිකාව ඔබයි. කියන්න වචන නැත (නි)
නන්දමාලනි මහත්මියනි.... ඔබ ගැයූ....ජේසුස් ස්වාමි දරුවනේ.... සහ පානම්පත්තුවේ ඩිංගිරි අම්මාය කියන ගීත දෙක මට කවදාවත් අමතක වෙන්නේ නැහැ.... මහාචාර්ය සුනිල් ආරියරත්න උත්තමයට කොහෙන් ඒ වචන ආවද කියල වෙලාවකට හිතෙනවා. බුදුසරණයි....ජේසු පිහිටයි.(ස)
89 දී ඔබට ඉන්දියාවට පැන යන්න උන එක මන් ලබන කාලකන්නි සතුටක්. සමාවන්න එහෙම කීවට මැතිතුමියනි. ඔබ එසේ නොගියා නම් මට කුන්කුන් පොට්ටු අහන්න වෙන්නේ නැහැ. ඔබට යාපනේ මිනිස්සු නලලට තිලක තියලා පෝස්ටර් ගැහුවා. මන් ඒ පෝස්ටර් දැක්කේ චාව කච්චේරියේදී. මේ රටේ පිරිමින්ට වඩා ඔබ තුමිගේ එඩිතරකම ඇත්ත ඇතිහටියෙන් දැකීම වගේම වර්ගවාදෙට විරුද්දව ඔබ තනිව ගී ගයමින් කල සේවය අති විශිෂ්ටයි.(නදී)
මැතිනියනි, දුබි දේශයටත් යලි වරක් වදිනු මැනවි. (නදී)
ඔබ එදා ගැයූ... බුදුනේ, ජෙසුනේ, නබිනායකතුමනි ප්‍රඥාවන්තයින් සින්හාසනාරුට කලමනවී, මගේ නම ලංකාය... වගේ ගීත.... එදාටත් වඩා අදට ගලපෙනවයි කියල මට අනන්තවත් හිතෙනවා. ඔබ ගැයූ කිසිම ගීයක් වැඩකට නැති උනේ නැහැ. හැම ගීයකින්ම මන් නම් දෙයක් ඉගන ගත්තා. ඔබ පමණක් නොවේ මාත් වාසනාවන්තයි ඔබේ ගී ඇසීමට.(නදී)
මුරුගන් කියන විදිහටම ඇය ලංකාවේ පිරිමින්ටත් අබියෝග කල එකම ගැහැනියයි. ටොර්නොටෝ වල අපි ඇය එනතුරු බල සිටින්නේ ඉතාම සතුටිනි. ඇය කිසිම ගැහැනියක හා සමාන කළ නොහැකි ගනයේ ගැහැනියකි (නි)
ආයුබෝවන් ඔබතුමිට..... ඔබේ මුහුණ අදත් එදා වගේම සිරියාවන්තයි. ඔබ තුමී කුංකුම්පොට්ටු කැසට් එකේ ගීතත් ගයනවද ? (ස)
මනිටෝබ ප්‍රසංගය යෞ ටියුබ් බලන්න ලින්ක් එක http://www.youtube.com/watch?v=wPdHb8JAHdU (අ)
ඔබතුමි මේ ගයන්නට හදන්නේ තුන් හෙලේ කැලෑ අතහැර හැර ගිය සිංහ පැටවුන්ට නේද? (නදී)
ඔබතුමි ගායිකාවක් පමණක් නොවේ. ජාතියන්තරවාදියෙක්, සමාජවාදියෙක්,ප්‍රජාතන්ත්රවාදියෙක්,මානුෂවාදියෙක් වගේම ආගම්වාදී, ජාතිවාදී, යුදවාදී,අන්තවාදී,ගෝත්‍රවාදී විරෝදියෙක්. ඒ බව ඔබ ගැයූ හැම වචනයකින්ම මොනවට සනාතවේ.(නදී)
මගේ අයි පොඩ් එකේ බොන් ජෝවිගේ, ගන්ස් ඇන්ඩ් රෝසස්, මෙටලික වගේ 'හාර්ඩ් රොක්" ගීත අතරේ ඔබේ කපිරිංඥා කියන ගීතය තියනවා. මන් කියන්න තනන්නේ... ඔබව වත් ඔබේ හදවත් ඔබ සමාජගත කල අදහස් වත් ලේසියෙන් නැති වෙන්නේ නැහැ. චිරන් ජයතු.(නදී)
දෙනෝදාහක් දෙනා කියන ගීතය ඔබ ගැයුවේ දැනට අවුරුදු 20 පමණ උඩදී. මෝහයෙන් බරිත වෙලා කතිරේ ගහන අයට ගයපු ඒ ගිය අදත් වටිනවා. නමුත් මේ රටේ බිරි අලින්ට බන කීවත්, ගී ගැයුවත් වැඩක් නැහැ. ඒත් ඔබ අපේ සිත් අනන්තවත් සුවපත් කළා. තවත් කරනවා. අපි ණයයි ඒවාට.(නදී)
ඔබ අපේ රට්ටට ආඩම්බරයක්, වස්තුවක්.(නදී)
අදි ලිං වලින් උනන්නේ වතුර නෙවෙයි ලේ. තුන් හෙලේ කැලෑ තුල සිංහ පැටවූ, පුලුකුනාවේ හාමුදුරුවෝ, උපාසකම්ම ඉපදුන හීන කුලේ, රටකරවන්ට නම් වගේ අනන්තවත් ගීත ගැයීමට ඔබට ශක්තිය ලැබුනේ කෙසේද. කොටින්ම ඔබට කොන්දක් නොවේ කශේරුකා කිහිපයක් ඇත කියල මට වෙලාවකට සිතේ.(නදී)
ඔබතුමිය මේ ලොව කොයි කොන ගී ගැයුවත් ගයන්නේ හදවතට සහ මනසට බැවිනි. එවැනි පුවතක් ඇසීමත් මංගල කාරනයක් කියලයි මට හිතෙන්නේ.(නදී)
ඔබේ හඬ මිහිරියි. මහද බැඳී එම සොඳුරු කටහඬ හිමිව ඇත්තේ ඔබටම පමණයි. ඔබට සුබ පැතුම්! (නි)
ඔබතුමියට ධිර්ඝායු (දී)