දිල්ලියේ සිට කැනඩාවේ වැන්කුවර් බලා පියාසර කළ එයාර් ඉන්දියා සමාගමට අයත් AI185 ගුවන් යානය, තාක්ෂණික හා පරිපාලනමය දෝෂයක් හේතුවෙන් පැය 8 කට ආසන්න කාලයක් අහසේ රැඳී සිටීමෙන් පසු යළි දිල්ලියටම ගොඩබස්වා ඇතැයි පැවැසෙයි.

අදාළ ගුවන් ගමන සඳහා කැනඩාවට ඇතුළු වීමට නීත්‍යානුකූල අවසරයක් තෙරව ‘බෝයිං 777-200LR’ වර්ගයේ ගුවන් යානයක් වැරදීමකින් යෙදවීම මෙම තත්ත්වයට හේතුව බව ද පැවැසෙයි.

ගුවන් යානය දිල්ලියෙන් පිටත්ව චීන ගුවන් සීමාවට ඇතුළු වූ පසුව බලධාරීන්ට මෙම වැරදීම වැටහී ඇති අතර, වහාම ක්‍රියාත්මක වූ ගුවන් සමාගම යානය යළි දිල්ලියට ගෙන්වා ගෙන ඇත.

ගුවන් ගමන සඳහා වැය වූ අධික ඉන්ධන ප්‍රමාණය සහ මගීන්ට සිදු වූ අපහසුතාවය හේතුවෙන් ගුවන් සමාගමට විශාල මූල්‍ය අලාභයකට මුහුණ දීමට සිදුවනු ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

කෙසේ වෙතත්, සියලුම මගීන්ට අවශ්‍ය නවාතැන් පහසුකම් සලසා දී අද උදෑසන වෙනත් යානයකින් ඔවුන් ගමනාන්තය වෙත පිටත් කර හැරීමට එයාර් ඉන්දියා සමාගම පියවර ගත් බව ද පැවැසෙයි.