(සුජිත් හේවාජුලිගේ)

නව රාත්‍රී පූජා උත්සවයක් සංවිධානය කරන ලෙසට කතානායකවරයා කළ ඉල්ලීමක් පැහැර හරින ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නිදහසට කරුණු දක්වන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහ ලේකම් නීතිඥ හංස අබේරත්න මහතා එහි පරිපාලන අධ්‍යක්ෂිකා කාන්ති පීරිස් මහත්මියට දැනුම්දී ඇත.

යාපනයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු විසින් කරන ලද ඉල්ලීමක් අනුව කතානායකවරයා එම උත්සවය පැවැත්වීමට කටයුතු සූදානම් කරන්නැයි පාර්ලිමේන්තු මහලේකම්වරියට දැනුම්දී ඇත. ඒ අනුව මහ ලේකම්වරිය ඒ සඳහා අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස පරිපාලන ආධ්‍යක්ෂිකාවට දැනුම්දී ඇති අවස්ථාවේදී ඇය එම ඉල්ලීම තරයේ ප්‍රතික්ෂේප කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.

එසේ හිතුවක්කාරී ලෙස කටයුතු කිරීමෙන් පාර්ලිමේන්තුවේ විනය නීති හා ආචාර ධර්ම කඩ කර ඇති හෙයින් එ් සම්බන්ධයෙන් නිදහසට කරුණු අැත්නම් සඳුදා උදේ 11.00ට පෙර ඉදිරිපත් කරන ලෙස පාර්ලිමේන්තු වැඩබලන මහලේකම්වරයා පරිපාලන අධ්‍යක්ෂිකාවට මහත්මියට වැඩිදුරටත් දැනුම් දී ඇත.

නව රාත්‍රී ආගමික පූජාව පාර්ලිමේන්තුවේදී මීට පෙර වසරවලදීද පරිපාලන අංශයේ මැදිහත්වීමෙන් සාමාන්‍ය පරිදි සංවිධාන කෙරුණු බව එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය