ටෝනි කරුණානායක

විදෙස්ගතව සිටින තැරැව්කරුවන් සමග එක්ව මුදලට මිනිස් ජාවාරම් කළ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් කාන්තාව මිනුවන්ගොඩ , හොරම්පැල්ල ,  පදිංචි කාන්තාවක් බව පොලිසිය කීය.

සැකකාරිය සහ පැමිණිලිකාරිය මිනුවන්ගොඩ, කටුවැල්ලේගම ප්‍රදේශයේ ඇඟලුම් කම්හලක සේවය කරන අවස්ථාවේ හිතවත් වී තම හිතවතකු මාර්ගයෙන් මැලේසියා රටේ රැකියාවක් ලබා දිය හැකි බවත් ඒ සඳහා රුපියල් ලක්ෂ හතරක මුදලක් වැය වන බවත් සැකකාරිය පැමිණිලි කාරියට පවසා ඇති බව පොලිසිය පවසයි .

පැමිණිලිකාරිය ඇඟලුම් කම්හල් සේවයෙන් ඉවත් වී සැකකාරියට රුපියල් ලක්ෂ 04 ක මුදලක් ලබා දී ඉකුත් 17 වෙනිදා මැලේසියා රටේ රැකියාව සඳහා කටුනායක ගුවන් තොටුපලින් පිටත්ව ගොස් තිබේ.

මැලේසියා ගුවන් තොටුපලේ ආගමන විගමන නිලධාරීන් පැමිණිලිකාරිය සතු ලිපි ලේඛන පරික්ෂා කිරීමේදී එම ලිපි ලේඛන ව්‍යාජ ඒවා බවට තහවුරු කරගෙන ඇත .

පැමිණිලිකාරියට එම රටට ඇතුල්වීමට අවසර ලබා නොදී ඉකුත් 21 වෙනිදා පැමිණිලිකාරිය මැලේසියාවෙන් ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇති බව පොලිසිය පවසයි .

පැමිණිලිකාරිය මැලේසියා රටේ ගුවන් තොටුපලේ රැඳී සිටියදී සැකකාරියට ඇමතුමක් ලබාදී ඇති බවද පොලිසිය කියයි.