ප්‍රභාකරන්ගේ උපන් ගමවූ වැල්වටිතුරෙයි සමීපයේ පිහිටි තීරුවිල්හි උද්‍යානයක මුවාවෙන් මියගිය ත්‍රස්තවාදී නායකයින් තිදෙනෙකු වෙනුවෙන් ස්මාරක යලිත් වරක් ඉදිකිරීමට ගන්නා ලද උත්සාහයක් පිළිබඳව හමුදා බුද්ධි අංශ තොරතුරු හෙලිකරගැනීමට සමත්ව ඇතිබව වාර්තාවෙයි.

මෙම උද්‍යානය ඉදිකිරීම සඳහා තෝරාගෙන ඇති ඉඩමෙහි කොටි සංවිධානය බලවත්ව සිටි අවදියේදී ප්‍රභාකරන්ගේ ඥතියකු වූ සතාසිවම් ක්‍රිෂ්ණකුමාර් හෙවත් කිට්ටු ඇතුළු කොටි ක්‍රියාකාරීන් තිදෙනකු වෙනුවෙන් ස්මාරක ඉදිකර තිබුණි.

කිට්ටු නැමැත්තා මියගියේ 1993 ලන්ඩන් නුවර සිට ත්‍රස්තවාදීන් කණ්ඩායමක් රැගත් නැව ඉන්දියා  නාවික හමුදාව විසින් වට කරන ලද අවස්තාවේදී නැවට ගිනිතබාගත් නිසාය. මෙලෙස එම නැව ගිනිතබන ලද්දේ එහි නවීන පන්නයේ අවි ආයුධ විශාල ප්‍රමාණයක් පුරවා තිබුහෙයින් බව එවකට ප්‍රසිද්ධ විය.

1987 ඉන්දියානු හමුදාවන් යාපනයේ සිටි සමයේදී මියගිය කොටි සංවිධානයේ කුමාරප්පා, පුලන්තිරන් සහ තවත් දසදෙනෙකු මිහිදන්කරන ලද්දේ මෙම ඉඩමේ බව එල් ටී ටී ඊ හිතවාදීන් පවසා තිබුණි.

ප්‍රභාකරන්ගේ දෙමාපියන් මියගිය පසු ඔවුන්ගේ මළසිරුරු මෙම ස්ථානයේ මහජන යාට දැකගැනීම සඳහා තබාතිබු බවටද මෙම ප්‍රවෘත්ති වාර්තාවල සඳහන්ව ඇත.

දැනට මෙම ඉඩමෙහි නීත්‍යානුකුල අයිතිය ඇත්තේ ශ්‍රී ලංකා යුද හමුදාවටය. 

පේදුරුතුඩුව දිස්ත්‍රික් උසාවිය මෙම ඉඩමේ අයිතිය පිළිබඳව ඉදිරිපත්කරතිබු අභියාචනය ඉවතදමන ලද බවත් ඉන්පසුව සමරු උද්‍යානයේ වැඩකටයුතු යලි ආරම්භකිරීමට කටයුතු යොදා ඇතිබවත් මේ සම්බන්ධයෙන් පලවී ඇති වාර්තාවල දැක්වෙයි.

මේ අන්දමට මියගිය ත්‍රස්තාවාදීන්ගේ ප්‍රතිමා හෝ සිහිවටන ගොඩනැඟීම සඳහා නගර සභාවට ඉඩ නොදෙන බව උතුරේ ආරක්‍ෂක ආරංචි මාර්ග පැවසීය. 

කොටි ප්‍රතිමා ඉදිකිරීම සඳහා මෙම ඉඩම අත්පත්කරගෙන ඇත්තේ වැල්වැටිතුරේ නගර සභාව විසිනි.

ප්‍රභාකරන්ගේ උපන් දිනය නොවැම්බර් 26 දාට යෙදී ඇති අතර එදින එකී ප්‍රතිමා සඳහා මුල්ගල තැබීමට උත්සාහ කරන බව බුද්ධි අංශවලට වාර්තාවී තිබිණි.
මියගිය කොටි වෙනුවෙන් වැල්වැටිතුරේ තිරුවේල්හි ඉදිකර තිබූ ස්‌මාරකය ආරක්‍ෂක අංශ ඉවත් කර තිබේ.