කොටදෙනියාව සේයා සදෙව්මි දැරිය පැහැරගෙන දූෂණය කර මරා දැමීමේ සිද්ධියට කිසිදු සම්බන්ධයක් නැති තමා අත්අඩංගුවට ගෙන, වරද පිළිගන්නා ලෙසට බල කරමින් අමානුෂික ලෙස පහර දෙමින් දින ගණනාවක් පොලීසියේ රඳවා ගෙන සිටීමෙන් සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීරණය කර ඒ වෙනුවෙන් රුපියල් කෝටියක වන්දි මුදලක් ලබා දෙන ලෙස ඉල්ලා ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි එක්දරු පියා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (11) තීන්දු කළේය.

අගවිනිසුරු කේ.ශ්‍රී පවන්, ප‍්‍රියසාත් ඩෙප් සහ උපාලි අබේරත්න යන මහත්වරුන් ගෙන් යුතු ත‍්‍රී පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ කැඳවූ අතර එහිදී විනිසුරු මඩුල්ල විසින්  මෙම පෙත්සම් විභාගයට අවසර දෙන ලදී.

ඒ අනුව ලබන මැයි 26 වැනිදා මෙම පෙත්සම විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරන ලදී.

ගම්පහ බඩල්ගම ප‍්‍රදේශයේ පදිංචි කැලූම් අත්තනායක නැමති තිස් එක් හැවිරිදි එක්දරු පියා විසින් ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති සුජිත් උදය කුමාර, මීගමුව සහකාර පොලිස් අධිකාරී ජයන්ත අතුකෝරළ,  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක, එහි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල,පොලිස්පති සහ නීතිපතිවරයා නම් කරනු ලැබ ඇත.

තමන් අත්අඩංගුවට ගෙන අමානුෂික ලෙස පහරදී මරණීය තර්ජන එල්ල කල කොටදෙනියාව පොලිස් ස්ථානාධිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, මීගමුව සහකාර පොලිස් අධිකාරී අතුකෝරාළ, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක රත්නායක අයට එරෙහි ස්වාධීන පරීක්ෂණයක් පවත්වන ලෙස පොලිස්පතිවරයාට නියම කරන්නැයි ද මෙම පෙත්සම මඟින් ඉල්ලා තිබිණි.

කොටදෙණියාවේ මීට පෙර අත්අඩංගුවට ගත් තරුණයකු කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මීට පෙර පොලිසියට විරුද්ධව නඩුවක් පවරා ඇත.