(අංජුල මහික වීරරත්න)

රටේ සංවර්ධන කටයුතුවලට අදාලව ලබාදෙන උපදෙස් නිසි ලෙස ක්‍රියාත්මක නොකරන රාජ්‍ය ආයතන ප්‍රධානීන් සම්බන්ධයෙන් ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

දිස්ත්‍රික් සංවර්ධන කමිටු රැස්වීම්වලදී එම දිස්ත්‍රික්කවල සංවර්ධනයට අදාලව ගන්නා තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් කඩිනමින් කටයුතු කළ යුතු බව පැවසූ ජනාධිපතිවරයා රට ආපස්සට ගෙනයාමේ වැඩපිළිවෙළකට කිසිසේත් ඉඩ නොදෙන බවද අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අද (04) පැවති විශේෂ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක්වෙමිනි.

දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය සහ රාජ්‍ය නිලධාරීන් යන දෙපාර්ශ්වයම මෙම අවස්ථාවට කැඳවා තිබූ අතර නුවරඑළිය දිස්ත්‍රික්කයේ සංවර්ධනය සඳහා මෙතෙක් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ සහ ඉදිරි සංවර්ධන සැලසුම් පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරිණි.

එසේම 2022 දෙසැම්බර් 22 සහ 2023 අප්‍රේල් 10 වන දින ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවන්හිදී ගනු ලැබු තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය විමසා බැලීමද සිදු විය.