(යොහාන් භාසුර)

එක්සත් රාජධානිය, ජර්මනිය, කැනඩාව, එක්සත් ජනපදය, බෙල්ජියම සහ නෙදර්ලන්තය යන රටවලින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත යොමුකර තිබූ රුපියල් කෝටි 7 කට අධික වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා අද (4) පැවසීය.

ශ්‍රී ලංකා රේගුවේ තැපැල් තක්සේරු අංශයේ නිලධාරීන් රඳවාගත් සැක සහිත පාර්සල් 13 ක් ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්, ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරියේදී පරීක්ෂා කළ බවත් මෙම පාර්සල් සම්බන්ධයෙන් තැපැල් නිලධාරීන් වෙත ලබාදී තිබුණ ලේඛනවල ඒවායේ පුද්ගලික භාණ්ඩ  අඩංගු බවට සඳහන්ව තිබූ බවත් ඒ මහතා කීය.

එම පාර්සල් තුළ ඉතා සූක්ෂ්ම ලෙස අසුරා තිබුණ මත්ද්‍රව්‍ය තොගයක් සොයා ගනු ලැබු බව කී සුදත්ත සිල්වා මහතා එම මත්ද්‍රව්‍ය අතර කුෂ් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 921 ක්, අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 106 ක්, කංසා ඇටවලින් නිස්සාරනය කරන ලද තෙල් ලීටරයක්, මෙතම්ෆිටමයින් නමැති මත්පෙති 5272 ක්, මත් මුද්දර කොටස් 425 ක්, මැන්ඩි ග්‍රෑම් 2 ක් සහ හෂිෂ් ග්‍රෑම් 4 ක් තිබූ බව ද සඳහන් කළේය.

එම මත්ද්‍රව්‍ය තොගයේ මුළු වටිනාකම රුපියල් 73,065,000 ක් බවට තක්සේරු කර ඇති බවත්  මේ පිළිබඳව මුලික විමර්ශන කටයුතු සිදු කිරීමෙන් අනතුරුව ඉදිරි විමර්ශන කටයුතු සඳහා නඩු භාණ්ඩ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන්ට භාරදුන් බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්‍ෂ සුදත්ත සිල්වා මහතා කීය.