(මුදිතා දයානන්ද)

කොළඹ හා තදාසන්න ප්‍රදේශවල රථවාහන තදබදය අවම කිරිම සඳහා ක්‍රියාත්මක කර අසාර්ථක වු ව්‍යාපෘති වෙනුවෙන් පසුගිය වසර අටක පමණ කාලයකදී රුපියල් කෝටි 2340 ක් වැය කර ඇතැයි විගණන වාර්තාවකින් කියාවේ.

කොළඹ නගරය හා අවට මාර්ගයන්හි තදබදය අවම කිරීමට රාජ්‍ය ආයතන විසින් සිදුකරන ලද කාර්ය භාරය ඇගයීමේ සඳහා මෙම විගණනය සිදුකර තිබේ.

2017 වසරේ සිදුකරන ලද පර්යේෂන වාර්තාවකට අධික රථවාහන තදබදය නිසා ආර්ථිකයට සිදුවන හානිය වාර්ෂිකව රුපියල් කෝටි 3200ක් බවද එම වාර්තාවේ සඳහන් වේ. ඒ අනුව දෛනික හානිය කෝටි නවයකට ආසන්න වේ.

එම වාර්තාවට අනුව මාළඹේ සිට කොටුව දක්වා සහ බස්නාහිර පළාත කේන්ද්‍ර කර ගනිමින් සැහැල්ලු දුම්රිය ප්‍රවාහන ව්‍යාපෘති වෙනුවෙන් විදේශ ආධාර හා ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් කෝටි 1153ක් වැය කර ඇත. මාළඹේ කොටුව සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය සඳහා ඇස්තමේන්තු පිරිවැය කෝටි 438ක් වුවද එහි වැඩ අත්හිටුවීමට 2022 ජුනි 28 වැනිදා කැබිනට් තිරණය ගන්නා අවස්ථාව වන විට වැඩිපුර කෝටි 629ක්වැය කරඇත.

මෙම වාර්තාවට අනුව කොළඹ නගරාසන්න දුම්රිය සේවා ව්‍යාපෘතියේ ශක්‍යතා අධ්‍යයනය සඳහා පමණක් කෝටි 1125ක් වැය කර ඇති අතර එයින් යෝජිත ව්‍යාපෘති ක්‍රියාත්මක කිරිම සඳාහා කෝටි 432ක් වැය කිරිමෙන් අනතුරුව ව්‍යාපෘතිය අතහැර දමා තිබේ.

බස් ප්‍රමුඛතා මංතීරු නියමු ව්‍යාපෘතියක් මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ මැදිහත් විමෙන් 2017වසරේ සිට ක්‍රියාත්මක කළ නමුත් එයද ව්‍යාපෘතියක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක නොවු බවද නියමු ව්‍යාපෘතිය වෙනුවෙන් පමණක් රුපියල් කෝටි 43ක් වැය කර ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. සහසර නමින් ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියකට රුපියල් කෝටි 12.37ක් වැය කර ඇත.

බස්නාහිර මහ නගර සංවර්ධන සැලැස්ම වෙනුවෙන් කෝටි 28.7ක් වැය කර ඇතත් පසුව එය අක්‍රිය තත්වයට පත්ව ඇති බවද එම වාර්තාවේ දැක්වේ.

මාර්ග සංවර්ධන අධිකාරියේ ප්‍රධාන ප්‍රවාහන සැලැස්ම 2018- 2028 වෙනුවෙන් කෝටි 1.16ක් වැය කර ඇතත් එහි සැලසුම් මාර්ග සංවර්ධන අධිකාරියේ විෂය පථයෙන් පරිබාහිරව සකස් කර ඇති නිසා නිෂ්ක්‍රීය තත්වයට පත්ව ඇතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

මීට අමතරව දුම්රිය සේවා කාර්යක්ෂම කිරීමේ ව්‍යාපෘතිය වෙනුවෙන් රුපියක් කෝටි 505කි වැය කර ඇති අතර එහි උප ව්‍යාපෘති 32ක් 2020 අවසන් වන විට ක්‍රියාත්මක පැවතියේ ව්‍යාපෘති පහක් පමණක් බවද වාර්තාවේ සඳහන් වේ

ජාතික ප්‍රවාහන ප්‍රතිපත්තියක් සකස් කිරිම සඳහා 2009 වසරේ සිට ලක්ෂ හතරකට ආසන්න මුදලක් වැය කර ඇතත් එය තවමත් කෙටුම්පත් අවධියේ පවතී.