චීනයෙන් එල්ල වන තර්ජන හමුවේ, ඕස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතරේ නව ආරක්ෂක ගිවිසුමකට අත්සන් තැබූ බව විදෙස් මාධ්‍ය පවසයි. 

එම ආරක්ෂක ගිවිසුමට අදාළව, ඕස්ට්‍රේලියාව සහ ෆීජි රාජ්‍යය අතරේ නව ආරක්ෂක සන්ධානයක් ද ගොඩ නැගෙනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයන්ගේ අදහසය.

‘සාමයේ සාගරය’ යන නමින් සකස් කළ මෙම ආරක්ෂක ගිවිසුමට අත්සන් තැබීම සිදුවූයේ ෆීජි දූපත් රාජ්‍යයේ සූවා අගනුවරදීඕස්ට්‍රේලියා අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් සහ ෆීජි අග්‍රාමාත්‍ය සිටිවේනී රබූකා අතරේය.

මෙම ආරක්ෂක ගිවිසුම හරහා, අමෙරිකා එක්සත් ජනපදය, නවසීලන්තය සහ පැපුවා නිව්ගිනියාවෙන් පසු ඕස්ට්‍රේලියාවේ සිව්වන නිල ආරක්ෂක මිත්‍ර රට බවට ෆීජි රාජ්‍යය පත් විය.

මෙම ඓතිහාසික ගිවිසුම නිල වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, චීනය න්‍යෂ්ටික යුද ශීර්ෂයක් සවි කළ හැකි ආකාරයේ ප්‍රබල මිසයිලයක් සාර්ථකව අත්හදා බැලුවේය.

චීනයේ මෙම පියවර ඕස්ට්‍රේලියාව, නවසීලන්තය ඇතුළු අනෙකුත් රටවල දැඩි විවේචනයට ලක් වුණු බව පැවැසෙයි.