2016-05-12-ent-116

 

කොහොමද චිත්රූ ජීවිතේ?

ජීවිතේ සතුටින් ගත වෙනවා. මේ දවස්වල මගේ අලුත් ගීතය අන්තර්ජාලයට මුදාහැරලා තියෙනවා. ඒක අහන්න පුළුවන් හැමෝටම FM දෙරණ හරහා. මේ ගීතය එළිදැක්වීම සිදුවෙනවා මේ සතියේදි.... දැනටම ලැබෙන ප්‍රතිචාර ඉතා හොඳයි. ඒ ගීතයට රූප රචනාවක් කරනවා. ඒක අලුත්ම වැඩක් වේවි. මොකද වෙනස්ම ආකාරයේ රෑප රචනාවක් තමයි මම කරන්නේ. ඒ වගේම විශ්ව විද්‍යාලයේ වැඩකටයුතු හොඳින් කරගෙන යනවා.

 

2016-05-12-ent-117මේ ඔබේ පළමු ගීතයද?

හ්ම්... මේ මගේ පළවෙනි සිංහල ගීතය. මම ඊට කලින් ඉංග්‍රීසි ගීතයක් කරලා තියෙනව.

 

ඒ ඔබ දෙරණ ඩීම් ස්ටාර් තරගයට එන්න පෙරාතුව නේද?

ඔව්. තරගයට එන්න පෙර.

 

හරි අපිට කියන්න මේ ගීතයේ පද රචනය කාගෙද?

චන්ද්‍රදාස ප්‍රනාන්දු මහතා.

 

සංගීතවත් කළේ?

ජිප්සීස් සංගීත කණ්ඩායම.

 

ගීතයට අන්තර්ගතවෙලා තියෙන්නේ?

ආදරය, දැන් කාලේ රැල්ලට හදන ගීතවලට වඩා වෙනස් ගීතයක්. මොකද දැන් ඇහෙන ගීතවල එක්කො පෙම්වතා දාලා ගිහින්. බූට් සින්දු. ඉතින් මට ඕනෑවුණා ඊට වඩා වෙනස් යමක් කරන්න. මොකද ගුවන් විදුලියක් දැම්මම වුණත් එක දිගට අහන්න අමාරුයි. ආදරය කියන එක වේදනාවක්. හැම තිස්සෙම වේදනාවක් වගේ තමයි දැනෙන්නේ. ඇත්තටම ආදරය තුළ වේදනාවක් තිබුණත් ඒක අමුතුම අත්දැකීමක්. එක වෙලාවකට චණ්ඩ මාරුතයක් වගේ. තවත් වෙලාවකට ගංගාවක් නිසලව ගමන් කරනවා වගේ. අන්න එහෙම අත්දැකීමක්. ආදරයේ මේ හැමදෙයක් ගැනම මේ ගීතය තුළ කතා වෙනවා. හුදෙක් ආදරය කියන එක හරි සුන්දරයි. ඒ ගැනයි මට කියන්න ඕනේ වුණේ.

 

කොහොම මේ ගීතය ලැබෙන්නේ?

මට මේක ලබාදෙන්නේ ජිප්සීස් නායක සුනිල් පෙරේරා මහතා. මේක ජිප්සීස් සංගීත කණ්ඩායමේ ඇල්බම් එකට කරන්න හිටපු ගීතයක්. නමුත්, ඒක ලියලා තිබුණේ මීට වඩා පදමාලාව වෙනස් විදියට. මම ඩ්‍රීම් ස්ටාර් තරගයට සහභාගි වෙලා ඉන්න අතරතුර තමයි සුනිල් මහතා මට මේ ගීතය දෙනවා කියලා තිබුණේ. මමත් ගීතයට කැමති වුණා. පසුව මට ඕනේ විදියට සංගීතයේ පොඩි වෙනස්කම් කළා. ඒ සඳහා ජිප්සීස් කණ්ඩායම මට ඉඩ දුන්න.

 

අනාගත බලාපොරොත්තු මොනවාද?

අනාගතයේදී රටට හරවත් වැඩදායී කෙනෙක් වීම තමා බලාපොරොත්තුව. මම ආවේ රියැලටි වැඩසටහනකින්. ගොඩක් අය චෝදනා කරනවා රියැලටි හරහා බිහිවන අය යමක් කරන්නේ නෑ කියලා. තව මිනිස්සුන්ගේ සල්ලි නාස්ති කරලා එක තැනකට ඇවිත් එතනින් නවතිනවා කියලා. මට අන්න ඒ චෝදනාව වෙනස් කරන්න ඕන. ඒ නිසා හරවත් දෙයක් සමාජගත කිරීම මගේ අරමුණ. ඒ එක්කම මගේ උපාධිය සම්පූර්ණ කිරීම.

 

ඔබ පෙම්වතියක්ද?

පස්සෙ කියන්නම්.

 

අවසාන වශයෙන් ස්තූති කරන්න තියෙන්නෙ කාටද?

ස්තූතිවන්ත වෙන්න ඕන විශේෂයෙන්ම සජිත් පෙරේරාට. සුනිල් පෙරේරා මහතාගේ ලොකු පුතාට. එයා තමයි මට ලොකු සහයෝගයක් දුන්නේ, තබ්ලා වාදනයට කට්ටිය හොයල දීලා. ඒ වගේම ගයාන් උඩවත්ත. ඒ දෙන්නට විශේෂයෙන් ස්තූති කරනවා. ඒ වගේම මගේ මව්පියන්ට.

 

අනූෂා රණසිංහ 

ඡායාරූප -චිත්රූගේ ෆේස්බුක් ගිණුමෙන්

 

DESHAYA

 

2016-05-12-ent-115

සේයාරුව | සුමුදු 

 

2016-05-12-ent-118