(ඩයනා උදයංගනී)

පසුගිය වසරට සාපේක්ෂව මෙම වසරේදී වාර්තා වූ ඒඩ්ස් (එච්.අයි.වී) ආසාදිතයින්ගේ වැඩිවීමක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.

පසුගිය වසරේ මෙරටින් ඒඩ්ස් ආසාදිතයින් 411 ක් වාර්තා වී ඇති අතර, මෙම වසරේ ගත වූ මාස 9 ක කාලයේ දී ආසාදිතයින් 429 ක් වාර්තා වී ඇතැයි එම ඒකකය සඳහන් කරයි.

එම ආසාදිතයින් 429 දෙනාගෙන් 148 දෙනකු වයස අවුරුදු 15 - 30 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන අතර, ඉන් අට දෙනකු කාන්තාවන් වේ.

ඒඩ්ස් ආසාදිතයන් සඳහා නොමිලේ ප්‍රතිකාර හා උපදේශන සේවාවන් ලබාදීම සදහා ලිංගාශ්‍රිත රෝග සායන 42 ක් දිවයින පුරා රෝහල් වල ක්‍රියාත්මක අතර ඉන් සායන 30 ක් එච්.අයි.වී සදහා වෙන් කර ඇති බවද  ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය පවසයි.

එමෙන්ම තමන් එච්.අයි.වී ආසාදිතයකු ද යන්න විනාඩි 20 ක කාලයක් තුලදී තනිව පරීක්‍ෂා කරගත හැකි ස්වයං පරීක්ෂණ උපකරණ ද ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන ඒකකය ඇමතීමෙන් හෝ ඔන්ලයින් මාර්ගයෙන් ඇණවුම් කර ලබාගත හැකි බව ද එම ඒකකය සදහන් කරයි.