(අංජුල මහික වීරරත්න)

ඒකීය රටක බලය බෙදීමට එකඟ බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

පරිපාලන බලය බෙදිය යුතුයි යන ස්ථාවරයේ ආණ්ඩුව සිටින බවද අමාත්‍යවරයා කීය.

ඉදිරි කාලයේ උතුරු නැගෙනහිර පළාත් වල නැනෝ ජල පිරිපහදු නව මධ්‍යස්ථාන 400ක් ඉදිකරන බවද ඇමතිවරයා මෙහිදී සඳහන් කළේය.

අමාත්‍යවරයා මේ බව කියා සිටියේ මුලතිව් දිස්ත්‍රික්කයේ ඔට්ටුසුඩාන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ කුලම්මුරිප්පු, කච්චිලෛයිමඩු, කතලියාරු, ඔලුමඩු යන ප්‍රදේශවල ඉදිකළ නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන විවෘත කිරීමේ අවස්ථාවන්ට අද (03) දින සහභාගී වෙමිනි. උතුරු නැගෙනහිර පළාත් වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කළ ගම්මානවල මෙම නැනෝ ජල පිරිපහදු මධ්‍යස්ථාන ඉදිකර ඇත. මෙය “සැමට සුරක්ෂිත පානීය ජලය” ලබාදීමේ රජයේ සංකල්පය යටතේ ක්‍රියාත්මකයි.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාගේ උපදෙස් පරිදි එම අමාත්‍යංශය යටතේ ක්‍රියාත්මක නැවත පදිංචි කිරීමේ අංශය, ප්‍රජා ජල දෙපාර්තමේන්තුව සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරයි.