රත්තරං නෙත් දෙකින්
සලා සිහිල් පවන්
ජීවිතේ ලසෝ තැවුල්
නිවන්න රත්තරං...
මේ එදා මෙදා තුර පෙම් වරම් ලද සුපෙම්වතුන්ගේ හදවත් නිරතුරුවම මුමුණන ගී පදවැල බව කිවහොත් එය කිසිසේත්ම අතිශයෝක්තියක් නොවේ.
එදා... එනම් මීට දශක තුන හතරකට පමණ කලින් ගුවන් විදුලි නාලිකා වලින්, කැසට් පට වලින් නිරතුරුවම ඇසුණු මේ ගීතයට යළි යළිත්... යළි යළිත් සවන් දීමේ, මේනියාවක් තිබිණි.
විරහී පෙම්වතුන් පමණක් නොව, පේ‍්‍රමයෙන් ජයගෙන අඹු සැමියන් වූවන් ද මේ ගීතයේ පදවැලට අතිශයින්ම ඇලූම් කළෝය.
සෞම්‍ය හඬකින් ලයාන්විත රිද්මයකින් ගැයුණු මේ ගීතය අදටත් රසික සිත් සතන් පේ‍්‍රමයෙන් ආතුර කරයි.
කුලරත්න ආරියවංශ අතින් ලියැවුණ.
|
|
රත්තරන් නෙත් පමණක් නොවේ,
මුළුලොවම නැති වුණත්
එකම හදවතක්
ඇත ඔබේ නාමයෙන්...
යැයි ඔහු ගයන විට සිතට දැනෙන සත්‍ය පේ‍්‍රමයේ හැඩරුව, සංවේදීකම විස්තර කරන්නට වචන නැති තරම්ය.
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ ඔබෙ ආදරේ
කෝ මා පැතූ...
ඒ ද ඔහුමය.
ටී.එම්. ජයරත්නය.
ඔහුට වර්තමානයක් ද අනාගතයක් ද සොඳුරු අතීතයක් ද හිමිය. එහෙත් ඔහු වඩාත් ඇලූම් කරන්නේ සොඳුරු අතීතයට ය.
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී
මගෙ හද තුල ඔබ ඉන්න ඇති
ඒ හින්දා යළි සෙනෙහෙ සිතින් අපි
ආදරයෙන් හමුවෙන්න ඇතී
එකී සොඳුරු අතීතයේ ටී.එම්. ජයරත්න යනු තාරණ්‍යයේ ආදරණීයම ගායන ශිල්පියා ය. ඔහු කිසියම් ප‍්‍රසංගයකට එන බව දැනගත් විට රසික රසිකාවියෝ ඔහු එන තැන පොරකෑවෝය. ඔහුගේ රුව දැක ගන්නට සමරු පොතක ඔහුගේ අත්සන යොදා ගන්නට ඔවුනට තිබුණේ නොතිත් ආශාවකි!
ඒ ආශාව යට රැඳී තිබුණේ ආදරය යැයි කිවහොත් එයද අතිශයෝක්තියක් නොවේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ටී.එම්. යනු ආදරණීය ගායකයෙකි.
එදා ඔහුගේ අලූත් ගීතයක් ඇසුණු විට ඒ ගීතය යළි යළිත් ප‍්‍රචාරය කරන්නැයි ගුවන්විදුලි නාලිකාවලට ලැබුණු ඉල්ලීම් ද අපමණය. අලූත් ගී එකතුවක් බිහිකරන්නැයි ඔහුට ඉල්ලීම් නොලැබුණු දිනයක් නැති තරම්ය.
මේ නිසාම හැමදාමත් ගීත ප‍්‍රසංගවලට යන්නට ඔහුට සිදුවිය.
එහෙත් කවදාවත් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් පැවත්වීමට ඔහුට සිතුණේ නැත...
‘‘ඇයි ඒ?’’ මම ටී.එම්. හමුවේ ප‍්‍රශ්නයක් තබමි.
‘‘ ඕව මහ කරදර වැඩනෙ කියලා මං හිතුවෙ.’’
ඔහු සංසුන් ලෙස පිළිතුරු දෙයි.
මහා තරඟයකට වැද ඉවක් බවක් නැතුව දුවන සමාජයක, ටී.එම්. යනු ඉවසිල්ලේ සැනසිල්ලේ කල් ගෙවන මිනිසෙකි.
‘‘කලාව කියන්නෙ නිවීමට... කලාකාරයෙක් කිව්වොත් ඔහු නිවිච්ච මිනිහෙක් වෙන්න ඕනෙ. අපි සිංදුවක් කියල රසිකයන්ගේ හිත්වල තියන්නෙ, නිවිච්චකම... ඒ නිවීම තමයි විඳීම...’’
ඒ ටී.එම් ගේ දර්ශනය යි.
ඔහු මෙතෙක් කලක් එසේ නිවී හිනැහී කල්ගෙව්වේය.
‘‘ඉස්සරෝම නම් මමත් දිව්වා සංගීත ප‍්‍රසංගවලට ආරාධනා එනවා. මමත් හැම එකක්ම බාරගන්නවා. පිට්ටනිවල ඝෝෂාකාරී සංගීතයට මමත් සිංදු කිව්වා. කොල්ලො නැටුවා. ඒත් මම පස්සෙ තේරුම් ගත්තා මට මේක ගැලපෙන්නෙ නැති බව. අන්තිමට මම එළිමහන් සංගීත ප‍්‍රසංගවලට යන එක නතර කළා. ශාලාවක් ඇතුලෙ තියෙන ප‍්‍රසංගවලට විතරක් යන්න පටන් ගත්තා. තව ගායකයො ගායිකාවො දෙතුන් දෙනෙක් එක්ක සිංදු හත අටක් කියලා ආවා... ඒ කාලෙත්, මට හුඟාක් අය කිව්වා ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කරන්න කියලා... ඒත් ඒක මහා කරදර වැඩක් කියලමයි මං හිතුවෙ.’’
ඇයි ඉතින් එහෙම හිතුවෙ? මම යළිත් අසමි.
‘‘එතැන ලොකු වගකීමක්නෙ තියෙන්නෙ. පැය දෙක හමාරක් තිස්සෙ රසිකයන් ඇද බැඳලා තියාගන්න ඕනෙ... ශාලාවෙ ඉන්න තරම් රසිකයන් කැමති ගීතම ගායනා කරන්න ඕනෙ. ඒත් එක රසිකයෙක් කැමැති ගීතයකට තව කෙනෙක් කැමති නෑ... තවත් කෙනෙක් කැමති තවත් ගීතයකට. මේ විදිහට බැලූවාම ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කියන එක අමාරු කාරණයක්. ඒ නිසා මම අනිත් අයගෙ ගී ප‍්‍රසංග බල බලා ඒවයින් සතුටු වෙවී හිටියා...’’ ටී.එම්. නිරහංකාරව සිනාසෙයි.
එහෙත් ඔහු එසේ සිතූ යුගය නිමාවට පත්වී ඇත.
මේ පුංචි රටේ
මතු කවදා හෝ
කොතැනකදී හෝ
යළි අප හමුවේවී...
යළි අප හමුවේවී...
ටී.එම්. ජයරත්නව කොළඹ දී මේ සොඳුරු මැයි මාසයේදී අපට යළිත් හමුවන්නේය. ඒ සොඳුරු අතීතය නම් ගත් ඔහුගේ ඒක පුද්ගල ගීත ප‍්‍රසංගයෙනි.
ඒක පුද්ගල - ගී ප‍්‍රසංගයක් කියන එක අභියෝගයක් කියලා දැන් හිතන්නෙ නැද්ද? මම ද හිනැහෙමින් අසමි.
‘‘මම නම් තවමත් හිතනවා. කොටින්ම තවමත් මේ ප‍්‍රසංගයට ගායනා කරන ගීත විසිපහ මට තෝරාගන්න බැරිවුණා. ඊයෙත් රෝහණ වීරසිංහ එක්ක කළේ සිංදු තෝරන වැඬේ. තාමත් ඒක ඉවර කරගන්න බැරිවුණා... ටී.එම්. යළිත් හිනැහෙයි.
‘‘එහෙමනම් ඒක පුද්ගල ගී ප‍්‍රසංගයක් කරමු කියලා ඔයාට කවුරුහරි බලකරනව ඇති?’’
‘‘ඇත්තටම සිද්ධ වුණෙත් ඒකම තමයි. සහීන්ද්‍ර විජේපුර, දිලානි විජේපුර කියන දෙන්නගෙන් මට බේරිල්ලක් නැතුව ගියා ඒක පුද්ගල ප‍්‍රසංගයක් කරන්න කියලා. මම ඒ දෙන්නට පුළුවන් තරම් කිව්වා. දැන් මගෙ ගීත ගුවන්විදුලි නාලිකාවල ඉස්සර වගේ ඇහෙන්නෙත් නෑ. මං ඉස්සර වගේ ජනප‍්‍රියත් නෑ. ඕනෙම කෙනෙක් ඉන්නව නම් සී.ඞී. එකක් දාගෙන මගේ ගීත අහයි කියලා. ඒත් මේ දෙන්නා ප‍්‍රසංගයට යන සම්පූර්ණ වියදම දරන්න එකඟ වුණා. අන්තිමේදී මට සිද්ධවුණා මේ වැඬේ මඟ නොහැර ඉන්න...’’
ඒ නිසා ටී.එම්. ගේ සොඳුරු අතීතය ඒක පුද්ගල ගී ප‍්‍රසංගය මැයි 11 වැනිදා පස්වරු 6.30ට කොළඹ මියුසියස් විද්‍යාලයීය රංගශාලාවේදී පැවැත්වේ. ආචාර්ය රෝහණ වීරසිංහයන් ගේ මියැසි අණසක යටතේ වසන්ත රෝහණයන්ගේ ඉදිරිපත් කිරීමත් වන සොඳුරු අතීතය, අපේ රටේ සුභාවිත ගීතය රැුකගැනීමට ගත් අනගි පියවරක් බව නොලියා සිටිය නොහැක්කේ මය.
දැන් ඉතින් මම ටී.එම්. ජයරත්න සමඟ සොඳුරු අතීතයට පිය නගමි... හැත්තෑව දශකයේදී ජන පර්යේෂණ ගී ගයමින් සංගීත ලොවට ආ තරුණ ටී.එම්. පසුකලෙක සරල ගීත ගයන්නට ද පටන් ගත්තේය.
‘‘ඒ කාලෙ ගුවන්විදුලි සංස්ථාවෙ සරල ගී වැඩසටහන් හරිම ජනප‍්‍රියයි... එක වැඩ සටහනක් ඉවර වෙලා ආවාම අනිත් වැඩසටහන කරන්නෙ කවද ද කියලා රසිකයො අහන්න ගත්තා.
‘‘මුලින්ම ගයපු සරල ගීය මතකද?’’ මම ඔහු සොඳුරු අතීතය වෙත කැඳවාගෙන යමි.
මුලින්ම කියපු සරල ගීයද? ඒක නම් මතක නෑ. හැබැයි ඒ කාලෙ මම ගයපු සරල ගී ගණනාවක්ම තියෙනවා අදටත් ජනප‍්‍රිය. දුකේදී හැඬුමට සැපේදී සිනාසෙන්නට,
අම්මා සඳකි මා ඒ ලොව හිරුය රිදී
සොඳුරු අතීතයෙ නිමල පැතුම වී, විහාරයෙන් එන නාමල් සුවඳේ, පුංචි පන්තිවල හැබෑම සුරතල්
වගේ ගී මට මතක් කරන්න පුළුවන්.
මේ ගී වලින් අම්මා සඳකි හා සොඳුරු අතීතය ලිව්වෙ ඔබේ බිරිඳ මාලිනී නේද? කොහොමද ඇය ගීත රචිකාවක් වුණේ..?
ඒක අහඹු සිදුවීමක්.
ඔහු සිනාසෙයි.
මගෙ එක සරල ගී වැඩසටහනකට ගීතයක් මදි වෙලා තිබුණා. ඉතින් මං එදා මාලිනී එක්ක කිව්වා හරි වැඬේනෙ මාලිනී මට තව එක සිංදුවක් මදිනෙ කියලා.
ටිකක් වෙලා මගෙ මූණ දිහා බලාගෙන හිටිය මාලනී ගෙට ගියා... ඇය ආපහු ආවෙ කඩදාසියකුත් අරගෙන...
මේක සිංදුවකට තියන්න පුළුවන්ද බලන්න කියලා මාලනී කිව්වා.
අම්මා සඳකි මම ඒ ලොව හිරුය රිදී
ඒ ඉර හඳෙන් නුඹෙ ලෝකය එළිය වුණී
රැුකුමට පුතුන් දිවියේ දුක් ගැහැට විඳී
පිය සෙනෙහසට කව් ගී ලියැවුනා මදී
ඒ ලස්සන වචන ටික සිංදුවකට හොඳයි කියලා මට හිතුණා. මාලිනී ගීත රචිකාවක් වුණේ ඒ විදහට. ඊට පස්සෙ මාලිනී ලියපු ගීත දොළහක් විතරම මම ගායනා කළා.
සරල ගීතයෙන් චිත‍්‍රපට ගීතයට ගිය ටී.එම්. ගයා ඇති චිත‍්‍රපට ගී ගණන හැත්තෑවකටත් අධිකය. ඒ අතරේද අතිශය ජනප‍්‍රිය ගීත රාශියක්ම වේ.
‘‘මම ඉස්සෙල්ලම ගායනා කළ චිත‍්‍රපට ගීතය ඇතුළත් වුණේ සිතිජය චිත‍්‍රපටියට. ඒත් ඒ චිත‍්‍රපටිය අතරමඟ නතර වුණා. මගෙ චිත‍්‍රපට ගීතයක් විදිහට මුලින්ම එළියට ආවෙ දෑස නිසා චිත‍්‍රපටියට මං ගයපු ලා හිරු දහසක් ලා සඳ දහසක් කියන ගීතයයි... ඒක ලිව්වෙ මහාචාර්ය සුනිල් ආරියරත්න, සංගීතය ආචාර්ය කේමදාසගෙ. එතැන් පටන් ටී.එම්. ගැයූ චිත‍්‍රපට ගීතාවලිය සිහිපත් කරද්දී මතකයට නැගෙන අපූරු ගීත රාශියකි.
සුදු මුදු රළ පෙළ කිඳුරු කොදෙව්වේ
පාවඩ පලස එලා
සිදු ළඳ ගෙනදුන් මුතු කැකුලක් සේ
ඔබ මට තිළිණ වෙලා...
ඒ ටී.එම්. ටෙලි නාට්‍ය ගණනාවක ද ආදරණීය ගීත ගණනාවක්ම ගායනා කළේය. එහෙත් යුගයක් පුරා ඔහු සිටියේ නිහඬවය. විශාරද නන්දා මාලිනිය ශ්වේත රාත‍්‍රියෙන් සමුගෙන යද්දී, ආචාර්ය වික්ටර් රත්නායකයන් ‘ස’ ප‍්‍රසංගය නිමා කරද්දී, සුභාවිත ගීත ගායනා කරන්නට ඒක පුද්ගල ගී ප‍්‍රසංග ඉතිරි වූයේ දෙකක් පමණි. ඒ සුනිල් එදිරිසිංහගේ සඳකඩ පහණ හා විශාරද එඞ්වඞ් ජයකොඩිගේ මාරම්බරී පමණි.
අමරසිරි පීරිස් ද ඇන්ජලීන් ගුණතිලක ද සුජාතා අත්තනායක ද බණ්ඩාර අතාවුද ද ඒක පුද්ගල ගී ප‍්‍රසංග ඉදිරිපත් කළත් ඒවා එකකට දෙකකට පමණක් සීමා විය. ඔවුන් රට වටා ගමනකට අදිමදි කළා විය යුතුය. එහෙත් රට වටා සැරිසරන්නට තවත් සුභාවිත ඒක පුද්ගල ගී සරණියක් අපට අවශ්‍යය. ටී.එම්. සොඳුරු අතීතය ගෙන එන්නේ එවැනි අරමුණකින්දැයි අපි නොදනිමු.
ටී.එම්. ද නොදනී.
‘‘ඒක මට දැන්ම කියන්න අමාරුයි. කාලය තමයි තීරණය කරන්නෙ. සමහර විට මේක රටපුරා දුවන්නත් පුළුවන් වෙයි.’’
ටී.එම්. කියන්නේ එසේය...
අපේ පැතුම ද එයමය. ටී.එම්.! සොඳුරු අතීතය අනාගතය කරා ගෙනයන්නට ඔබට සඳැල්ලෙන් සුබ පැතුම්!
හිරුට හොරෙන් සඳුට හොරෙන්
තරු මල් උයනේ
ලොවට හොරෙන් හැදු ලොවයි
අපේ ආදරේ
|
ශාන්ත කුමාර විතාන |
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවදාවත් පරණ වෙන්නේ නැති ගීත ඔබ ගයන්නේ. ඔබගේ ගීතවල ආදරේ ඉතිරෙනවා. ජීවිතේ දැනෙනවා. විදින්න පුළුවන් . ඔබට ස්තුතියි (ත)
කාලයේ වැලි තලාවෙන් වැසි යන සිංහල සංගීතයේ කුට ප්‍රාප්තියෙන් ශේෂව ඇති රශ්මි කදම්බයක් පමා වී හෝ පැමීනීම සතුටට කරුණක් . ඔබට දීර්ගායුෂ පතමි... ඔබේ ප්‍රසංගයට මාගේ උණුසුම් ශුභ පැතුම්! (නි)
මම ඔහුගේ ගීත වලට කැමතියි. තවමත් මම ඔහුගේ ගීත රස විදිනවා. ඔහුට දීර්ඝායුෂ ලැබේවා!(නදී)
ඔබේ මිහිරි හඩට අපි හැමදාම ආදරෙයි. ඒ හඬ අසම සමයි. ඔබට නිරෝගී සුව පථමි. (ස)
සුභ ආරංචියක්. ඔබට සුභ පතනවා ටී.එම් ජයරත්න මහතානනි.(නදී)
ඔබතුමාට කියන්න වචන නැහැ. ඔබතුමාගේ අම්මා මොනතරම් පින්වන්තද ඔබ වගේ පුතෙක් ලොවට දායාද කළාට? (නි)
මගේ හොදම ආසම ගායකයා ඔබ තමයි. ඔබට දීර්ගායු වේවා. (ස)
ඔබගේ ගීත වලට මම ගොඩක්ම ආසයි.ඔබට දීර්ඝායු සහ නිදුක් නීරෝගී සුවය පතනවා. (නි)
මම ආසම ගීතය තමයි "මුළු ලොවම නැති වුණත් එකම හදවතක්"... (නි)
මගේ ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක් ඔබ...ඔබට දිගු ගමනකට සුභ පැතුම්! (නි)
ඔයාග සින්දු වලට කැමැතියි. පුතාගේ සිංදු වලටත් කැමතියි. නීලා අක්කා සමග කියපුවත් හොදයි. ඔයාට නීලා ගැලපෙනවා.(නදී)
හැමදාම රස විඳින හොඳම සින්දු තියෙන්නේ මෙතනයි. මම හරිම කැමති සින්දු ඔක්කොම එතන තියෙනවා. සුබ පැතුම් මගෙනුත් ඔබට. (නි)
ඔබ මට තරුවකි.... (නි)
අම්ම සඳකි කියන ගීතයට මා මහත් ලෙස ඇලුම් කරනවා. ඕනෑම පියෙකුට හැගෙන්නේ එය තමන්ටම කියනවා කියායි. ඔබට දීර්ගයුෂ.(නදී)
මගේ ප්‍රියතම ගායකයන්ගෙන් එක්කෙනෙක් ඔබ. ඔබේ ප්‍රසංගයට මාගේ උණුසුම් ශුභ පැතුම්...! (නි)
ඔබේ ගීත වලට මම ගොඩක් කැමතියි. අම්මා සදකි ගීතය ගැයුවටත් එක ලියුවටත් ඔබ දෙපලටම ස්තුතියි.(ස)
සුභාවිත ගීතය රැක ගැනීමට දරන වෑයමට අපගේ ප්‍රණාමය..!! ප්‍රසංගයේ නම " ජීවිතේ අම ධාරා " සුදුසුයෙයි යෝජනා කරනවා. සුබ පැතුම්,,!!(ස)
ඔබේ හඬ සිංහල සරල ගීතයේ රිදී සීනුවකි. ගායකයකු වගේම ඉතා නිහතමානී මනුෂ්‍යත්වයෙන් පිරිපුන් ඔබ වැනි කළාකරුවන් රටටම සම්පතකි. ඔබේ ප්‍රසංගයට මාගේ උණුසුම් ශුභ පැතුම්! (නි)
ගීතයටත් වඩා විශිෂ්ඨයි නිහතමානී බව.(ස)
මගේ ප්‍රියතම ගායකයා (ත)
ඔබ වෙනි ගායකයින්ගේ ගීත ඇසීමට වත්මන් පරපුරේ බොළද පුද්ගලයින්ට අක්මාවක් නොමැතිවීම කනගාටුවට කරුණක්. (නදී)
ඔබේ ගීත වගේම ඔබත් බොහොම සුන්දර වූ මිනිසෙක්. (ස)
සියක් ආයු ලැබ මගෙත් ආයු ගෙන මටත් වඩා කල් ඔබ ජිවත් වේවා! (නි)
සැබෑම සුන්දර නිහතමානී කලාකරුවෙක්.ඔබට දීඝායු වේවා! (නි)
මගේ ප්‍රියතම ගායකයා. (නි)
මගේ අසම සින්දුව "රත්තරන් නෙත් දෙකිනින් " මේ ගී සමුදාය ලියු ගැයූ ඔබ අපට ඉතාම සුන්දර නිහතමානී සහුර්දයෙකි. තව තවත් මෙවන් ගී ඔබට ගයන්නත් අසන්නත් අපට අසන්නත් ලැබේවා. නිව් යෝර්ක් වලට එන්න ආරාධනා කරනවා. ඔබට දීර්ගෞෂ පතනවා!(නදී)
කාලයේ වැලි තලාවෙන් වැසි යන සිංහල සංගීතයේ කුට ප්‍රාප්තියෙන් ශේෂව ඇති රශ්මි කදම්බයයක් පමා වී හෝ පැමීනීම සතුටට කරුණක් . ඔබට දීර්ගායුෂ පතමි.(නදී)
එක පුද්ගල ප්‍රසංගයක් පැවැත්වීමට තීරණය කිරීම රසික අපට ඔබ කරන විශාල සේවයකි. ලංකාවට ගොස් නොවරදවාම මෙය නරබනවා.(නදී)
ඔබට දීර්ඝායුෂ ලැබේවා.මගේ හොදම ගායකයා ඔබයි. ඉක්මනටම තවත් ප්‍රසංගයක් කරන්න ඔබට ශක්තිය ලැබේවා.(ස)
මේ පුංචි රටේ මතු කවදා හෝ ඔබ අප හමුවේවා.(නදී)
ඔබගේ ගීත හැමදාමත් අළුත්.(නදී)
කටින් ගයන දෙය මුහුණේ මතුවෙනවා. ඔබේ අව්‍යාජ බව මම අගය කරනවා.සිත සන්සුන් කරගන්නට ඔබගේ ගී ඔසුවක් මට. ඔබට දිර්ගායු පතනවා! (නි)