ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් ප්‍රසන්න ප්‍රනාන්දු මහතා විසින් අද (3) රිමාන්ඩ් භාරයට පත් කැරුණු සහකාර පොලිස් අධිකාරී චමිල් ධර්මරත්න මිනී මැරීමේ සැකකරුවකු ලෙස අත්අඩංගුවට ගත් බව රහස් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය. 

ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වැනි වගන්තියෙන් මිනී මැරුම් චෝදනාව විග්‍රහ වේ.

පසුගිය ජනවාරි 4 වැනිදා ඇඹිලිපිටියේ නිවසක සාදයකදී පොලිසිය හා සාමාන්‍ය වැසියන් අතර ඇතිවූ ගැටුමින් එක්දරු පියකු වන සුමිත් ප්‍රසන්න ජයවර්ධන මෙන්ඩිස් ගොඩනැගිල්ලේ තුන්වැනි මහළෙන් වැටී මරුමුවට පත්විය.

‘මරණයක් සිදුකරන්නා කවරකු වුවත් ඔහුට මරණ දඬුවම නියම කළ යුතුය‘ යන්න දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තියේ දැක්වේ. පහරදීම, අනදරය හා පීඩාවට පත්කිරීම, නීති විරෝධී ලෙස රංචු ගැසීම යන කරුණුද ඔහු අත්අඩංගුවට ගැනීමේදී සැලකිල්ලට ගත් බව රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.

සහකාර පොලිස් අධිකාරීට නීති විරෝධී ලෙස රංචු ගැසීමේ චෝදනාව එල්ල කළහොත් පොලිසියේ සෙසු සියලු දෙනාටද එම චෝදනාව ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයි අධිකරණ ආරංචි කියයි.

මියගිය ජයවර්ධනගේ මරණ පරීක්ෂණය අද (3) පස්වරු 2ට ඇඹිලිපිටිය මහේස්ත්‍රාත් උසාවියේදී ඇරඹීමට නියමිතය.

පෙර දිනයේ ඔහුගේ බිරිය ශෂිකා නිශාමනී සාක්කි දුන්නාය. අදත් ඇය සාක්කි දීමට නියමිතය.