(මනෝ පිය ගුණසේකර)

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ  චෝදනා මත  යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ අතිරේක සාක්ෂි ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට නීතිපතිවරයා කළ ඉල්ලීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව සැප්තැම්බර් 5 වනදා ප්‍රකාශයට පත්කරන බව කළ මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (24) දැනුම් දුන්නේය.

මහාධිකරණ විනිසුරුවරුන් වන සංජීව මොරායස්, දමිත් තොටවත්ත සහ මහේන් වීරමන් යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුර මඩුල්ල එලෙස දැනුම් දුන්නේ ය.

2010 ජනවාරි මස මස 25 වනදා හෝ ඊට ආසන්න දිනයක ගිරිතලේ, හබරණ හා කොට්ටාව යන ප්‍රදේශවලදී පැමිණිල්ල නොදන්නා පිරිසක් සමග එක්ව සිරකර තැබීමේ අරමුණෙන් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ මහතා පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදු කළ බවට විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා ඇත.

යුදහමුදා නිලධාරී ෂම්මි කුමාරරත්න මහතා ඇතුළු යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 09 දෙනකුට එරෙහිව නීතිපතිවරයා මෙලෙස නඩු පවරා ඇත.

දණ්ඩ නීති සංග්‍රහය යටතේ  දඬුවම් ලැබිය යුතු වරදක් විත්තිකරුවන් කොට ඇති බව චෝදනා පත්‍රය සඳහන් වේ.

නඩුව කැඳවූ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවට අදාළව අතිරේක සාක්ෂි ලැයිස්තුවක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන්නේ යැයි කීය.
දුරකථන අංක අටක් සම්බන්ධයෙන් සාක්ෂි මෙහෙවීමට තමන් අපේක්ෂා කරන්නේ යැයිකේ පීරිස් මහතා ඒ සඳහා අවසර ඉල්ලා සිටියේය.

විත්තිකරුවන්ගේ නීතිඥවරු පැමිණිල්ල වෙනුවෙන් කළ එම ඉල්ලීම සම්බන්ධයෙන් විරුද්ධත්වය පළ කරමින් නඩු විභාගය ආරම්භ වීමෙන් පසු මෙවැනි ඉල්ලීමක් කිරීමට හැකියාවක් නැතැයි  පෙන්වා දුන්හ.

දෙපාර්ශවය කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පැමිණිල්ලේ ඉල්ලීමට අවසර දෙන්නේ ද නැද්ද යන්න පිළිබඳ තීන්දුව ඉදිරි නඩ දිනයේදී ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

නඩුව  සැප්තැම්බර් මස 5  වැනිදා කැඳවීමට නියම කළ විනිසුරු මඩුල්ල එදින අධිකරණයේ පෙනී සිටින සිටින ලෙස විත්තිකරුවන්ට නියම කළේය