ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදාවේ සිව් දෙනකු රහස් පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කර ගනිමින් සිටින බව පොලිස් ආරංචි කියයි.

මේ සම්බන්ධයෙන් මීට පෙර තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ.

2010 ජනවාරි මාසයේ දී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් වූ අතර ඒ සම්බන්ධයෙන් මුලින් හෝමාගම මූලස්ථාන පොලිසිය විමර්ශන කළේය.

පොලිස් විමර්ශන ගැන සෑහීමකට පත් නොවූ එක්නැලිගොඩ බිරිය සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය හෝමාගම හිටපු මූලස්ථාන පොලිස් පරීක්ෂක (දැන් සහකාර පොලිස් අධිකාරී) ඇතුළු පිරිසක් වගඋත්තරකරුවන් කරමින් නඩුවක් ද ගොනු කළේය.

එක්නැලිගොඩ විදේශ රටක සිටින බවට හිටපු අග විනිසුරු මොහාන් පීරිස් මහතා සහ හිටපු මන්ත්‍රී අරුන්දික ප්‍රනාන්දු වරෙක කියා තිබුණත් එය ද සනාථ කිරීමට ඔවුහු අපොහොසත් වූහ.

ජනවාරි අටවැනිදායින් පසු සිද්ධිය ගැන රහස් පොලිසිය පරීක්ෂණ ඇරැඹි අතර ඉන් පසු හමුදාවේ තිදෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූහ. එක්නැලිගොඩ මරා දමා ඇතැයි පොලිසිය සැක කරයි.