ජාතික හැඳුනුම්පත සිංහල හා දෙමළ යන භාෂා වලින් අලූතින් නිකුත් කිරීම පසුගියදා සිට ආරම්භ විය.

අද උදෑසන සිට කොළඹ ජාවත්තේ පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ ප‍්‍රධාන කාර්යාලය ඉදිරිපිට අති විශාල පිරිසක් රැස්ව සිටියේ එක් දින සේවාවෙන් තම හැඳුනුම්පත ලබාගැනීමේ අරමුණින්ය.

නමුත් උදෑසන 7.30ට පමණ වන විට අද දවසට නියමිත එක්දින සේවාව අවසන් යැයි පැවැසීමත් සමග ස්ථානය නොසන්සුන් වූයේ ඉතා දුර බැහැර සිට පැමිණි අසරණ සේවාදායකයින් රස්තියාදු කරවීම නිසාය.

ඔවුන් ගේට්ටුව ඉදිරිපිට කෑ කෝ ගසමින් කියා සිටියේ වෙනදාට එක් දින සේවාව දහවල් කාලය තුරුම ලබා දෙන බවත් අද දින පමණක් මෙසේ පෙරවරු 7.30ට එය නවතා දැමීම නිසා තමන් දැඩි අපහසුතාවයකට පත් වූ බවය.

පොලිස් නිලධාරීන් ද යොදා තත්ත්වය සන්සුන් කිරීමට උත්සාහ කළද දිගින් දිගටම ඔවුන් කියා සිටියේ තමන්ට සාධාරණයක් කරන ලෙසය.