(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනය සංවර්ධනය කිරීමට ගතහැකි ක්‍රියාමාර්ග පිළිබඳ සොයාබලා නිර්දේශ ඉදිරිපත් කිරීමට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) විසින් අනු කාරක සභාවක් පසුගියදා පාර්ලිමේන්තුවේදී පත් කෙරිණ.

  ඒ  ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ 2022, 2023 වර්ෂයන්හි විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්යසාධනය පිළිබඳ පරීක්ෂා කිරීමට කෝප්හි  සභාපති  පාර්ලිමේන්තු මන්ත්‍රී (වෛද්‍ය) නිශාන්ත සමරවීර මහතාගේ සභාපතිත්වයෙන්  රැස්වූ අවස්ථාවේදීය.

මෙහිදී ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතනයේ වර්තමාන කාර්යසාධනය පිළිබඳ දීර්ඝව සාකච්ඡා කෙරුණු  අතර මෙම ආයතනයේ සංවර්ධනය සඳහා සහ ශිෂ්‍යයන්ගේ යහපත වෙනුවෙන් අවශ්‍ය කරුණු සොයා බලා වාර්තා කිරීමට අනු කාරක සභාවක් පත් කිරීම සුදුසු බව කෝප් කාරක සභාවේ සභාපතිවරයා යෝජනා කළේය.

මේ අනුව කෝප් කාරක සභාවේ සාමාජික  මන්ත්‍රීවරුන් වන රුවන් මාපලගම, සුජීව සේනසිංහ සහ ලුතිනන් කොමාණ්ඩර් (විශ්‍රාමික) ප්‍රගීත් මධුරංග  යන මහත්වරුන්ගේ සාමාජිකත්වයෙන් මෙම අනු කාරක සභාව පත් කිරීමට නිරිදේශ විය. අනුකාරක සභාවේ සභාපතිවරයා ලෙස  පාර්ලිමේන්තු මන්ත්‍රී රුවන් මාපලගම මහතා පත් කෙරිණි.

මාස දෙකක් ඇතුළත අවශ්‍ය සියලු පාර්ශ්ව සම්බන්ධ කර ගනිමින් කරුණු පරීක්ෂා කර බලා වාර්තාවක් සකස් කරන ලෙස  කෝප් කාරක සභාවේ සභාපතිවරයා  අනුකාරක සභාවට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා උසස් තාක්ෂණ අධ්‍යාපන ආයතන විසින් පවත්වාගෙන යනු ලබන පාඨමාලාවලට  සඳහා සිසුන් ඇතුළත් වීමේ ප්‍රතිශතය අඩු මට්ටමක පැවතීම මෙන්ම   පාඨමාලාවලට ඇතුළත්වන සිසුන් අතරින් පාඨමාලාව අවසන් කරන සිසුන් ප්‍රමාණය අඩු ප්‍රතිශතයක පැවතීම සම්බන්ධයෙන්ද කෝප් කාරක සභාවේ අවධානය යොමු විය. ඩිප්ලෝමා පාඨමාලා හැදෑරීමට පැමිණෙන සිසුන්ට ඩිප්ලෝමාව සම්පූර්ණ කිරීමෙන් පසු (Top Up Degree) උපාධි මට්ටම දක්වා අධ්‍යාපනය ලැබීමේ  අවස්ථාවන් සම්බන්ධීකරණය කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බැලිය යුතු බව  කාරක සභාව පෙන්වා දුන්නේය.  තාක්ෂණික පාඨමාලා ප්‍රමාණය වැඩි කිරීමේ අවශ්‍යතාවයද කාරක සභාව විසින්අවධාරණය  කරන ලදි.