මෙවර අපොස උසස් පෙළ විභාගයේ සිසුන්ට   දුන්  ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය නිසි ප්‍රමිතියකින් තොරව සකස් කර  ඇතැයි රුහුණ විශ්ව විද්‍යාලයයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි සහ චන්දික ගුණසිංහ මහත්වරු අද (07) පැවසූහ.

ජාතික අධ්‍යාපන ආයතනයෙන් ආර්ථික විද්‍යා ගුරුවරුනට ලබා දී ඇති විෂය නිර්දේශය අනුව නිසි අගයුමක් මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ නැතැයි ද, ආර්ථික විද්‍යා සංකල්ප රැසක් වැරදියට යොදා ගෙන ඇතැයි ද, ඇතැම් ප්‍රශ්න ගැටළු සහගත යැයි ද එම මහාචාර්යවරු ප්‍රකාශ කළහ.

බහුවරණ ප්‍රශ්න පත්‍රයයේ ප්‍රශ්න පනහෙන් පහක දෝෂ ඇතැයි කී මහචාර්යවරු එහි ඇතැම් ප්‍රශ්නවලට නිවැරදි වරණ එකට වැඩි ගණනක් ඇතුළත් කර ඇතැයි ද සඳහන් කළහ. තමන් පෙන්වන ගැටළු ගැන ඕනෑම  විද්වත් සභාවක විවාද කිරීමට සූදානම් යැයි ද ඔවුහු කීහ.

‘දළ ජාතික වියදම‘, ‘ශුද්ධ ජාතික වියදම‘ වචන ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ භාවිත කර තිබුණත් එවැනි සංකල්පයක් ආර්ථික විද්‍යාවේ නැති බවත්, ආර්ථික විද්‍යා ඇතැම් සමීකරණ වැරදියට ආර්ථ ගන්වා ඇති බවත්, නිපුණතා මට්ටම අනුව ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න සකස් කර නැති බවත් කථිකාචාර්ය නන්දසිරි කීඹියහෙට්ටි මහතා පැවසීය.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර සකස් කළ ප්‍රධාන පාලක පරීක්ෂක ඇතුළු තිදෙනාම හදිසියේ ඉවත් කර අලුතින් තිදෙනකු පත්කිරීමට එරෙහිව ආචාර්ය මහාචාර්යවරු 39 දෙනකුගේ අත්සන් සහිත ලිපියක් මීට මාස දෙකකට පමණ පෙර විභාග කොමසාරිස් වෙත යවා තිබිණි. ප්‍රශ්න පත්‍ර සකස්කිරීමට ආචාර්යවරුන් පත් කළේ නිසි ක්‍රමවේදයකට නොවන නිසා මෙවර ප්‍රශ්න පත්‍රයේ ගැටළු රැසක් ඇති විය හැකි බව ඔවුන් පෙන්වා දී තිබිණි.

මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රය පසුගිය අඟහරුවාදා (05) සහ බදාදා (06) පැවැත්විණි.

ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍රයේ ගැටළු ඇත්නම් සිසුන්ට සාධාරණයක් කරන ලෙස විභාග කොමසාරිස්ගෙන් ඉල්ලන්නේ යැයි ලංකා  ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් මහතා සඳහන් කළේය.

මෙවර ආර්ථික විද්‍යා ප්‍රශ්න පත්‍ර සකස් කරණ මණ්ඩලය ගැන ආචාර්ය මහාචාර්යවරුන් 39 දෙනකු මීට පෙර කළ විවේචන ගැන සැලකිල්ලක් දැක්වීනම් මෙවැනි ගැටළු පැන නොනගින බවත්, ජාතික විභාගයක මෙවැනි ගැටළු ඇතිවීම සුළුවෙන් තැකිය නොහැකි බවස් ස්ටාලින් මහතා කීවේය.

මේ ගැන විමසීමට විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව් එම් එන් ජේ පුෂ්පකුමාර මහතා සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළත් එය අසාර්ථක විය.