(නිමන්ති රණසිංහ )

කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු භාණ්ඩ ලෙස නම් කර  තිබුු තඹ කම්බි රෝල් කිහිපයක් සොරකම් කර  හාල් උරයක බහා  පලා යෑමට තැත් කළ පුද්ගලයෙක්  අධිකරණ පොලිස් මුරපොළේ පොලිස් නිලධාරින් කණ්ඩායමක්  විසින් අද (19) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.

දිවයිනේ ලියාපදිංචි  අපරාධකරුවකු බව පැවසෙන මෙම  සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව  කෙසෙල්වත්ත පොලිසිය පවසයි.

නඩුවකට පෙනී සිටීමට අධිකරණයට පැමිණ ඇතැයි කියන   සැකකරු  බන්ධනාගාර නිලධාරීන් සැකකරුවන්  පිටතට ගෙන යන අවස්ථාවේදී   එම බෑගයද  අතැතිව  ඉදිරිපස ගේට්ටුවෙන් එළියට යැමට උත්සාහ දැරූ අවස්ථාවේදී මෙසේ අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගනු ලැබූ  තඹ කම්බි රෝල්වල බර කිලෝ පහකට අධික යැයිද   පොලිසිය සදහන් කළේය.

කිසියම් කණ්ඩායමක සහය ලබාගෙන  මොහු මෙම සොරකම කරන්නට ඇතැයි පොලිසිය සැකකරයි.

කෙසෙල්වත්ත පොලිසියේ නිලධාරීහු  මෙම සොරකම සම්බන්ධයෙන්  වැඩිදුර පරීක්ෂණ පවත්වති.

මේඅතර  කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ භූගත නඩු  භාණ්ඩ ගබඩාවද  සොරුන් විසින් ඉකුත් (16) කඩා බිඳිනු  ලැබීය.