(විමුක්ති එස් රුද්‍රිගු)

ජාතික පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්‍යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය සැප්තැම්බර් මාසයේදී සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇතැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

අගෝස්තු මස සියයට 70.2 ක් ලෙස සටහන් වූ  උද්ධමනය සැප්තැම්බර් මාසයේ මෙලෙස සියයට 73.7 දක්වා ඉහළ ගොස් ඇත.

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව ඉකුත් අගෝස්තු මස ආහාර කාණ්ඩයේ උද්ධමනය සියයට 84.6 ක් ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ  සියයට 85.8 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු දත්ත වාර්තා පෙන්වා දෙයි.

ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය ඉකුත් අගෝස්තු මස සියයට 57.1 ලෙස වාර්තා වූ අතර එය සැප්තැම්බර් මාසයේ සියයට 62.8 ක් දක්වා ඉහළ ගොස් ඇත.

සියයට 73.7 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 40.9 ක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 32.9 දායකත්වයක් ලබා දී ඇති බව  ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය.

මෙවර උද්ධමනය ඉහළ යාම සඳහා ආහාර නොවන කාණ්ඩයේ අයිතම වල මිල වැඩිවීම ප්‍රධාන වශයෙන් බලපා ඇත.