(අංජුල මහික වීරරත්න)

උතුරු පළාතට අක්කර 1000කින් සමන්විත  සෆාරි අභයභූමියක් සැකසීම සඳහා සුදුසු ඉඩම් පිළිබදව සොයා බලන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කෘෂිකර්ම වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතාට උපදෙස් දී තිබේ.

දැනට උතුරු පළාතේ පාසැල් දරුවන්ට හා වැඩිහිටියන්ට සතුන් පිළිබඳව අධ්‍යයනය කිරීමට මෙන්ම විනෝදාස්වාදය සඳහා  වෙනමම සෆාරි අභයභූමියක් ස්ථාපිත කර නොමැත. බොහෝ අභයභූමි මෙන්ම සත්වෝද්‍යාන ද පිහිටා තිබෙන්නේ දකුණේ නිසා උතුරු පළාතේ දිස්ත්‍රික්ක පහක ජනතාවට සත්වෝද්‍යාන නැරඹීමට දකුණුනට පැමිණීමට  සිදුව තිබේ.

 උතුරු පළාතේ ස්ථාපිත කිරීමට යෝජිත නව සෆාරි අභයභූමිය සඳහා සුදුසු ඉඩම් පිළිබඳව සොයා බලන ලෙස අමාත්‍ය මහින්ද අමරවීර මහතා වනජීවී හා වනසම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම් චන්ද්‍රා හේරත් මහත්මියට සහ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයාට හා වනසම්පත් සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නේය.

දැනට ජාතික සත්වෝද්‍යාන වල වැඩිපුර  සිටින ඇතැම් සත්ව විශේෂ මෙන්ම නාගරික ප්‍රදේශවල දැනට ව්‍යාප්තව සිටින,  ජනතාවගේ ගෙවතුවලට හානිකරන සත්ව විශේෂ මෙම වනෝද්‍යානයට යොමු කිරීමට ඇති හැකියාව ද සොයා බලන්නැයි ද අමාත්‍යවරයා දැනුම් දුන්නේය.