යාපනය විශ්ව විද්‍යාලයේ සිසුන් දෙදෙනකු මියයාමේ සිද්ධිය මුල්කරගනිමින් චෙන්නායිහි ශී‍්‍ර ලංකා තානාපති කාර්යාලය වටකරමින් කලහකාරීව හැසිරුණූ තමිල්නාඩු කොටි හිතවාදී දේශපාලඥයින් වන තිරුමානවන් සහ සීමාන් ඇතුළු 200කට අධික පිරිසක් තමිල්නාඩු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තාකර සිටීයි

යාපනය විශ්ව විද්‍යාලයේ විජයකුමාර් සුලක්‍ෂන් සහ නඩරාසා කජන් යන සිසුන් දෙදෙනා පසුගිය 20 වනදා රාති‍්‍රයේදී පොලිස් අණ නොතකා ධාවනය කිරීමේ සිද්ධියක් මත පොලිසිය විසින් සිදුකරන ලද වෙඩි තැබුමකින් ජීවිතක්‍ෂයට පත්වූහ.

මෙම සිද්ධිය මුල්කරගනිමින් තමිල්නාඩුවේ ‘මැයි 17‘ නැමැති කොටි හිතවාදී පක්‍ෂයේ සංවිධානයෙන් පසුගියදා චෙන්නායිහි පිහිටි ශී‍්‍රලංකා තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක් සිදුකළ අතර තමිල්නාඩුවේ ඊල තමිලර් වාල්උරිමයි පක්‍ෂය,ද්‍රවිඩ විමුක්ති කොටි සාමාජික පක්‍ෂය,එම්ඞීඑම්කේ පක්‍ෂය ඇතුළු දේශපාලන පක්‍ෂ කිහිපයක් ඊට එක්විය.

ඝාතකයින්ට දඩුවම් පමුණවන ලෙසත් උතුරු පළාතේ සිටින සියළුම ආරක්‍ෂක හමුදා සාමාජිකයන් එම පළාත්වලින් පිටමන් කරන ලෙසත් දෙමළ ඊළමේ ජනතාවට ලක් රජය විසින් සිදුකරන ද්‍රෝහිකම් නවතාගන්නා ලෙසත් මේවාට එරෙහි වෙමින් ඉන්දීය රජයද කටයුතු කළ යුතු බවත් උද්ඝෝෂකයෝ කීහ.