දිවයිනේ දිස්ත‍්‍රික්ක පහකට බලපා ඇති දැඩි වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පවුල් 60,000කට අයත් පුද්ගලයින් ලක්‍ෂ දෙකක් පමණ පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

යාපනය, මඩකලපුව, ත‍්‍රිකුණාමලය, අම්පාර සහ පොළොන්නරුව යන දිස්ත‍්‍රික්කයන්ට මෙම දැඩි වියළි කාලගුණ තත්ත්වය බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ (මාධ්‍ය) සරත් ලාල් කුමාර මහතා පැවසුවේය.

මෙම ප‍්‍රදේශවල ජනතාව පානීය ජලය හා එදිනෙදා කටයුතු කරගැනීමට අවශ්‍ය ජලය නොමැතිව දැඩි පීඩාවකට පත්ව සිටින බව ද වාර්තා වේ. ඔවුන්ට බවුසර් මගින් ජලය බෙදා හැරීමට පියවර ගෙන ඇතැයි ද ලාල් සරත් කුමාර මහතා පැවසීය.

මෙම නියං තත්ත්වය හේතුවෙන් ප‍්‍රදේශ රැසක් ගොවිතැන් විනාශ වී ඇති බවද පැවසේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මෙම වියළි කාලගුණ තත්ත්වය ලබන සැප්තැම්බර් මාසය පුරා පවතිනු ඇති බවයි.

ඔක්තෝබර් මුල අන්තර් මෝසම සක‍්‍රීය වීමට නියමිත අතර ඉන් අනතුරුව මෙම වියළි කාලගුණ තත්ත්වය අවසන් වනු ඇතැයි කාර්යයේ නියුතු කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය පැවසුවාය.