(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

උණ්ඩ තොගයක් අත්බෝම්බ සහ යුධ හමුදා නිල ඇඳුම් කට්ටල රැසක්  වැලිසර ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සඟවාගෙන සිටි බව කියන යුදහමුදාවෙ හිටපු කපිතාන්වරයෙක් පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් විසින් පෙරෙදා( 20)වෙනිදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා සන්තකයේ හෙරොයින් මිලිග්‍රෑම් 4380 සහ කොකේන් මිල ග්‍රෑම් 5620 තිබී පොලිස් භාරයට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා 34 හැවිරිදි වියේ පසුවන අයෙකි.

මිලිමීටර් නවය වර්ගයේ  උණ්ඩ 285 ක්, මිලිමීටර් 16 වර්ගයේ ජීව උණ්ඩ 16, ටී 56  උණ්ඩ දෙකක් , අත්බෝම්බ හතරක් සහ යුද හමුදා නිල ඇඳුම් කලිසම් හයක් සහ යුද හමුදා ටී ෂර්ට් තුනක් සැකකාර හිටපු කපිතාන්වරයා ගේ නිවස සෝදිසි කර පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සොයාගෙන ඇත.

පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කඳවුරේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත එම නිවස සෝදිසි කර මේවා හොයා ගත් බවඑම බළකායේ උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අත්අඩංගුවට ගත් සැකකාර හිටපු කපිතාන්වරයා මේවා සමග වැඩිදුර පරීක්ෂණ සඳහා මහබාගේ පොලිසියට භාරදුන් බව විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.