(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කරන ගුවන් ප්‍රහාර දැඩි කිරීමෙන් පසුව ගතවූ පැය 24 ක කාලය තුළ පලස්තීන වැසියන් 400 දෙනෙකු මියගොස් ඇත.

මධ්‍යම ගසා තීරයේ අල් රෝහලට එම ප්‍රහාර වලින් පසුව ගෙන තුවාල ලැබූවන්ගෙන් සියයට 65 ක් දරුවන් බව එම රෝහල් බලධාරීහු ප්‍රකාශ කළහ.

ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් අද (23) දහවල් වනවිට පලස්තීනුවන් 4785 කට වැඩි පිරිසක් මියගොස් තවත් 14245 ක් තුවාල ලබා තිබූ බව පලස්තීන බලධාරීහු පෙන්වා දුන්හ.

හමාස් ප්‍රහාර හේතුවෙන් අද (23) වනවිට ඊශ්‍රායල 1405 දෙනෙකු මියගොස් තවත් 5431 දෙනෙකු තුවාල ලබා තිබිණ.

ඒ අනුව දෙපාර්ශවයේම මිය ගිය සංඛ්‍යාව අද (23)දහවල් කාලය වන විට 6200ට ආසන්න විය.

මේ වන විට ඊශ්‍රයල හමුදාවන් ලෙබනනයාට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට සූදානම් වෙමින් සිටි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයට අයත් ස්ථාන දෙකකට අද (23) හමුදාවන් සාර්ථකව ප්‍රහාර එල්ල කළ බව ඊශ්‍රායලය ප්‍රකාශ කළේය.

මේ වන විට ගාසා තීරයේ වෙසෙන පලස්තීන ජනතාව ඉතාමත් අසරණ වී ඇති බවත් ඔවුන්ට ලැබෙන ආධාර තවමත් ප්‍රමාණවත් නොවන බවත් පලස්තීන බලධාරීන් පවසා ඇත.පලස්තීන ජනතාවට සහාය වීම සඳහා උතුරු ගසා තීරයේ පිහිටුවා ඇති ඉන්දුනීසියානු රෝහල් සඳහා අවශ්‍ය ඉන්ධන ඉතා ඉක්මණින් නොලැබුණහොත් එම රෝහල් වල සිටින වෛද්‍යවරුන් කරන ශල්‍යකර්ම නැවත්වීමට සිදුවනු ඇතැයි පලස්තීන බලධාරීන් පෙන්වා දී තිබේ.