(අංජුල මහික වීරරත්න)

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු රටට බදු ආදායම් උපයා දෙන ආයතන අධීක්ෂණය කිරීම සදහා විශේෂ ඒකකයක් ස්ථාපිත කළ යුතු බව ජාතික ආර්ථික හා භෞතික සැලසුම් කටයුතු ක්‍රියාත්මක කිරී‌මේ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

රාජ්‍ය බදු ආදායම ඉහළ දැමීමට කටයුතු නොකරන නිලධාරීන් සම්බන්ධයෙන් දැඩි තීරණ ගැනීමට රජය කටයුතු කළ යුතු බවත් මන්ත්‍රීවරයා  පෙන්වා දුන්නේය.

 මහින්දානන්ද අලුත්ගමගේ මහතා මේ බව සඳහන් කළේ 'ස්ථාවර රටකට සැවොම එක මඟකට' මැයෙන් අද (26) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 1667ක්, ශ්‍රී ලංකා රේගුවෙන් රුපියල් බිලියන 1217ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුවෙන් රුපියල් බිලියන 217ක් වශයෙන් රුපියල් බිලියන 3101ක ආදායම්  ඉලක්කයක් මේ වසර සදහා  රජය බලාපොරොත්තු වෙන බවද මන්ත්‍රීවරයා කීය.

නමුත් මේ වන විට එකතුකර තිබෙන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 956ක්, ශ්‍රී ලංකා රේගුව රුපියල් බිලියන 578ක් සහ සුරාබදු දෙපාර්තමේන්තුව රුපියල් බිලියන 109ක් වශයෙන් රුපියල් බිලියන 1643ක් පමණක් බවද අලුත්ගමගේ මහතා පැවසීය.