
ඉරානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය අතර පවතින යුදමය ගැටුම් මැදපෙරදිග කලාපයෙන් ඔබ්බට ගොස්, ඉන්දීය සාගරය දක්වා වර්ධනය වීමේ අවධානමක් පෙන්නුම් කර ඇත. ඒ, ඉරාන විප්ලවීය හමුදාව ඉන්දීය සාගරයේ පිහිටි අතිශය වැදගත් ඇමෙරිකානු සහ බ්‍රිතාන්‍ය ඒකාබද්ධ හමුදා මධ්‍යස්ථානයක් වන ‘දියේගෝ ගාසියා’ (Diego Garcia) කඳවුර ඉලක්ක කර ඉරානය විසින් බැලැස්ටික් මිසයිල ප්‍රහාර දෙකක් එල්ල කිරීමත් සමගය.
කෙසේ නමුත් මෙම මිසයිලවලට නිවැරදි ඉලක්කවලට ලගා වීමට නොහැකි වූ බව ඇමෙරිකන් හමුදාව පවසයි. එක් මිසයිලයක් ගුවනේදී අක්‍රීය වී කඩා වැටී ඇති අතර, අනෙක් මිසයිලය අමෙරිකානු යුද නෞකාවකින් නිකුත් කළ ප්‍රති-මිසයිල පද්ධතියක් මගින් විනාශ කෙරුනු බව පැවැසෙයි.
ඉරානයේ සිට දියේගෝ ගාසියා දූපත පිහිටන්නේ කිලෝමීටර් 4,000ක් දුරිනි. ඒ අනුව ඉරානයට කිලෝමීටර් 4,000ක් දුර විදිය හැකි මිසයිල ඇති බව තහවුරු වී තිබේ. මීට පෙර ඇමෙරිකාව පැවැසුවේ ඉරානය සතුව ඇත්තේ කිලෝමීටර් 2,000 ක දුරකට විදිය හැකි මිසයිල පමණක් බවය.
දියේගෝ ගාසියා යනු ඉන්දියන් සාගරයේ පිහිටි ඉතාම උපායමාර්ගික වැදගත්කමක් සහිත දූපතකි. මෙය මධ්‍යම ඉන්දියන් සාගරයේ පිහිටි චාගෝස් දූපත් සමූහයේ විශාලතම දූපත වන අතර, භූගෝලීය වශයෙන් ගත් කල මෙය ශ්‍රී ලංකාවට ආසන්නයෙන්ම පිහිටි දූපතක් නොවේ. ශ්‍රී ලංකාවේ සිට දියේගෝ ගාසියා දූපතට ඇති දුර දළ වශයෙන් කිලෝමීටර් 1,700ක් (සැතපුම් 1,000ක් පමණ) වන අතර, එය ශ්‍රී ලංකාවට සහ ඉන්දියාවේ දකුණු වෙරළට කෙලින්ම දකුණු දෙසින් පිහිටා තිබේ.
මෙම දූපතේ දේශපාලනික ඉතිහාසය ඉතා සංකීර්ණ සහ මතභේදකාරී එකකි. 1960 දශකයේදී බ්‍රිතාන්‍යය විසින් මෙම දූපත් සමූහයේ පදිංචිව සිටි ස්වදේශික ජනතාව බලහත්කාරයෙන් ඉවත් කොට, දියේගෝ ගාසියා දූපත ඇමරිකානු එක්සත් ජනපදයට යුධ කඳවුරක් පවත්වාගෙන යාම සඳහා බදු දෙන ලදී. වසර ගණනාවක් තිස්සේ ජාත්‍යන්තර නීතිමය සටන්වලින් පසුව, මෙම දූපත් සමූහයේ ස්වෛරීභාවය මොරිෂස් රාජ්‍යයට හිමිවිය යුතු බව තහවුරු විය. කෙසේ වෙතත්, එහි පවතින ඇමෙරිකානු යුධ කඳවුරේ අවශ්‍යතාවය මත, දූපතේ අයිතිය පිළිබඳ ගිවිසුම් තවමත් සංකීර්ණ ලෙස ක්‍රියාත්මක වේ.
යුධමය වශයෙන් දියේගෝ ගාසියා ලෝකයේ අතිශය වැදගත් ස්ථානයකි. ඇමරිකානු ගුවන් සහ නාවික හමුදාවන් විසින් මෙම දූපතේ ප්‍රධාන කඳවුරක් පවත්වාගෙන යනු ලබන්නේ මැදපෙරදිග, දකුණු ආසියාව සහ අප්‍රිකානු කලාපයේ සිදුවන ඕනෑම ක්‍රියාකාරකමක් ඉතා ඉක්මනින් නිරීක්ෂණය කිරීමට සහ මැදිහත් වීමට පහසු වන පරිදිය. එහි සිටින ජනගහනය ප්‍රධාන වශයෙන්ම යුධ කඳවුරේ සේවය කරන ඇමරිකානු සහ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන්ගෙන් සමන්විත වන අතර, සිවිල් ජනාවාසයක් එහි නොමැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd