ඇමෙරිකා හමුදාව දිනයේ ද දකුණු ඉරානයේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ඉලක්කවලට පහර දුන්නේය. එම ප්‍රහාරවලින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකා සාමාජිකයන් අට දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බව වාර්තා වේ.

මියගියේ ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායේ ගුවන් සහ නාවික හමුදා සාමාජිකයන් බව ද විදෙස් මාධ්‍ය පවසයි.

මොවුන් මියගියේ ඇමෙරිකන් හමුදා දකුණු ඉරානයේ අන්ඩාර් අබ්බාස් සහ බුෂෙහාර් යන ප්‍රදේශවල පිහිටි හමුදා කඳවුරුවලට ප්‍රහාර එල්ල කරද්දීය.

එම ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට ප්‍රතිඥා දෙමින්, ඉරානය පවසා ඇත්තේ ඇමෙරිකාව සමග කිසිදු ගිවිසුමකට තමන් එකග නොවන බවත්, ඇමෙරිකානුවන්ට දඩුවම් කිරීමේ අරමුණින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කරන බවත්ය.

ඉරානය ප්‍රහාර එල්ල කරන්නේ අසල්වැසි අරාබි රටවල ඇමෙරිකන් හමුදා ඉලක්කවලටය. තම හමුදා ඉලක්කවලට දිගටම ඉරානය ප්‍රහාර එල්ල කරන්නේ නම්, ඉරානයේ තෙල් පිරිපහදු සහ පානීය ජල පිරිපහදු ඉලක්ක කර ගනිමින් ප්‍රහාර එල්ල කරන බව ඇමෙරිකාව අනතුරු අඟවා ඇත.

ඉරානය සමග පවතින අර්බුදය යුද්ධයක් නොවන බවත්, ඇමෙරිකාවට අවශ්‍ය ඉරානය න්‍යෂ්ටික අවි නිපදවිය නොහැකි රටක් බවට පත්වනු දැකීම පමණක් බවත් ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කළේය.
ඇමෙරිකන් ජනාධිපති ට්‍රම්ප් මෙසේ අවධාරණය කළේ ඉරානය සමග සාමකතා අවසන් බවත්, තව දුරටත් ඉරානය සමග සාකච්ඡා කිරීමෙන් ඵලක් නොමැති බවත් පැවැසීමෙන් අනතුරුවය. 

ඉරානය සමග සාකච්ඡා අවසන් යැයි ට්‍රම්ප් පැවැසුවේ තුර්කියේ අන්කාරා නුවර පැවැති නේටෝ සමුළුව අතරතුරේදීය. 

ඇමෙරිකාවත් ඉරානයත් අතරේ යළිත් වරක් යුද උණුසුමක් නිර්මාණය වූයේ ඉරානය ඉකුත් 7 වැනිදා හෝමූස් හරහා යාත්‍රා කරමින් තිබූ වෙළෙඳ නෞකා තුනකට මිසයිල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධිය මුල්කොට ගනිමිනි.

හෝමූස් හරහා යාත්‍රා කළ නෞකාවලට ඉරානය ප්‍රහාර එල්ල කිරීම නේටෝ හෙවත් උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයේ මහ ලේකම් මාර්ක් රූට්ගේ ද දැඩි විරෝධයට සහ අප්‍රසාදයට හේතුවක් වී ඇත. ඊට ප්‍රතිචාර දක්වමින් ඇමෙරිකාව ඉරානයට ප්‍රහාර එල්ල කිරීම නේටෝ මහ ලේකම්වරයා අනුමත කළේය. ඉරානයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් ට්‍රම්ප් සහ නේටෝ මහලේකම්වරයා අතර රහස් සාකච්ඡාවක් ද පැවැත්විණි.

ඉරානය එල්ල කළ ප්‍රහාරය ඇමෙරිකාව සහ ඉරානය අතරේ ඇති කරගත් අවබෝධතා ගිවිසුම උල්ලංඝනය කිරීමක් යැයි ට්‍රම්ප් නේටෝ මහ ලේකම්වරයාට පෙන්වා දුන් බව ද පැවැසෙයි.

හෝමූස් නැව්වලට ඉරානය පහර දුන් අවස්ථාවේදී, ඇමෙරිකාව ඉරාකයේ විප්ලවීය ආරක්ෂක බලකායේ ඉලක්ක 80 කට ගුවන් ප්‍රහාර එල්ල කළේය. ඉරානය එසැණින් ඊට ප්‍රතිචාර දැක්වූයේ බහරේනය, කුවේටය ඇතුළු අසල්වැසි අරාබි රටවලට මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමිණි. ට්‍රම්ප් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ ඉරානය එම මිසයිල සහ ඩ්‍රෝන 111 ක් බහරේනය, කුවේටය ඇතුළු අසල්වැසි අරාබි රටවලට ඇමෙරිකන් ඉලක්කවලට එවූ බවය.