(විමුක්ති එස් රුද්‍රිගු)

ශ්‍රී ලංකාව, මෙම වසරේ මුල් මාස අටේදී ඉන්ධන ආනයනය කිරීම සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක මුදලක් වියදම් කර ඇති බවත් පසුගිය වසරේ පළමු මාස 8 සාපේක්ෂව එය ඉන්ධන වියදමේ සියයට 61.6 ක ඉහළ යාමක් බවත් මහ බැංකුව පසුගියදා නිකුත් කළ නවතම දත්ත වාර්තාවේ දැක්වේ.

මෙරට ඉන්ධන ආනයනය කිරීම සඳහා මෙම වසරේ පළමු මාස අටේදී ඇමෙරිකානු ඩොලර් කෝටි 400 ක් වියදම් කර ඇතත් පසුගිය මැයි සිට අගෝස්තු දක්වා මාසවලදී මෙරට ඉන්ධන ආනයන වියදම සුළු වශයෙන් හෝ අඛණ්ඩව පහළ ගොස් ඇතැයි එම දත්ත වාර්තා පෙන්වා දුන්නේය.

පසුගිය ජුනි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 465ක් වූ මෙරට මාසික ඉන්ධන ආනයන වියදම ජූලි මාසයේදී ඇමෙරිකානු ඩොලර් මිලියන 453ක් දක්වා අඩු වී තිබෙන බවද එම වාර්තාවේ සඳහන්වේ. එහෙත් ජූලි මාසයේ ඉන්ධන ආනයන වියදම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව සියයට 68කින් ඉහළ ගොස් ඇති බවද මහ බැංකු දත්ත පෙන්වා දුන්නේය.

ජූලි මාසයේදී ඉන්ධන ආනයන වියදම ඉහළ යාමට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බොරතෙල් ආනයනය සඳහා වැය වූ මුදල ඉහළ යාම බවද පැවැසෙයි. ඒ අනුව මාසික ඉන්ධන ආනයන වියදම අඛණ්ඩව පහළ යමින් පැවතියද, වසරේ මුල් මාස අට සඳහා සමස්ත ඉන්ධන ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් කෝටි 400 දක්වා ඉහළ යාම හේතුවෙන් ඉන්ධන ආනයනය රටේ විදේශ මුදල් වියදම් කෙරෙහි තවදුරටත් සැලකිය යුතු බලපෑමක් ඇති කරන අංශයක් බවට පත්ව තිබේ.

මෙම වසරේ ජනවාරි සිට ජූලි දක්වා කාලයේදී පමණක් ශ්‍රී ලංකාව, ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 3,622ක මුදලක් වැයකර ඇති අතර, එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව සියයට 59.9 ක ඉන්ධන ආනයන වියදමේ ඉහළ යාමකි. ඒ අනුව පසුගිය අගෝස්තු මාසයේ ශ්‍රී ලංකාව ඉන්ධන ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 378 ක පමණ මුදලක් වියදම් කර තිබේ.