(අංජුල මහික වීරරත්න)

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සැපයීම සඳහා වූ අවබෝධතා ගිවිසුමකට කොළඹ දී අද අත්සන් තැබීය. ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම (NCEL) සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය (COOPFED) අතර මෙම ගිවිසුමට අත්සන් තැබීම සිදුවිය.

ඉන්දියාවේ ජාතික සමූපකාර අපනයන සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ අනුපම් කෞෂි සහ ශ්‍රී ලංකා පාරිභෝගික සමූපකාර සමිති සංගමය වෙනුවෙන් එහි සභාපති ආචාර්ය ශාන්ත ජයරත්න මහත්වරු ගිවිසුමට අත්සන් තැබූහ.

එම අවස්ථාවට මෙරට ඉන්දීය මහකොමසාරිස් සන්තෝෂ් ජා මහතා සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරු ද සහභාගී වූහ.

ඊට සමඟාමීව නිදහස් වෙළෙඳ ගිවිසුම (FTA) යාවත්කාලීන කිරීම ඇතුළු වෙළෙඳ හා වාණිජමය ගැටලු පිළිබඳවද ඵලදායී සාකච්ඡාවක් ද සිදුවිය.