(අංජුල මහික වීරරත්න)

ඉන්දියාව සහ ශ්‍රි ලංකාව එකම කාසියක දෙපැත්ත බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

සංස්කෘතික සහ ආගමික වශයෙන් යම් වෙනස්කම් තිබුණද දෙරට අතර සමානතා බොහොමයක් පවතින බව කී ජනාධිපතිවරයා දීපාවලි යනු එම සමානතා පිළිඹිබු කෙරෙන එක් අවස්ථාවක් බවත් දීපවාලී මුළු ලෝකයම සමරන උත්සවයක් බවට පත්ව ඇති බවත් සඳහන් කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමය (Colombo Expats Cultural Association)කොළඹ කිංග්ස්බරි හෝටලයේ සංවිධානය කර තිබූ දීපාවලි සැමරුම් උත්සවයට එක් වෙමිනි.

දීපාවලි සැමරුම සියලුදෙනා එකට එක් කෙරෙන සහ සමීපතමයන් මුණගැසෙන අවස්ථාවක් බව සඳහන් කළ ජනාධිපතවරයා එකමුතුකම සහ සහයෝගීතාව සංකේතවත් කෙරෙන දීපාවලී සැමරුම් උත්සවයක් සංවිධානය කිරීම පිළිබඳ කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයට සිය ස්තූතිය පිරිනැමීය.

ජ්‍යෙෂ්ඨ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, කොළඹ විදේශිකයන්ගේ සංස්කෘතික සංගමයේ සභාපති කපිතාන් ඒ. බැනර්ජි (A. Banerjee) මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.