(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)

මිලානෝ නගරය ආසන්නයේ පිහිටි ගඟක නෑමට ගිය ශ්‍රී ලාංකික විසිපස් හැවිරිදි තරුණයෙකු සැඩපහරකට හසුවී ගසාගෙන යද්දී එම තරුණයා බේරා ගැනීමට ගඟට පැන්නඔහුගේ 60 හැවිරිදි පියාද පුතු සමඟ දියේ ගිලී මිය යාමේ අනුවේදනීය පුවතක් ඉතාලියෙන් වාර්තාවේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව, බෝලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දුලාත්  සහ ඔහුගේ පියාය.

ඉතාලියේ රැකියා කරන පිය පුතු දෙපළ  ඔවුන්ගේ ඥාතීන් සහ මිතුරන් පිරිසක් සමග ඉකුත් සිකුරාදා මෙම  ගඟේ නෑමට ගොස් ඇතැයිඉතාලියෙන් ලැබෙන ආරංචි මාර්ග සඳහන් කරයි.

ගඟේ බැස නාමින් සිටි විසිපස් හැවිරිදි ශ්‍රී ලාංකික තරුණයා ගසාගෙන යනවා දුටු ඔහුගේ 60 හැවිරිදි පියා, එක්වරම සිය පුතා බේරා  ගැනීමේ අරමුණෙන් ගඟට පැන්න අවස්ථාවේ ඔහු ද සැඩපහරට හසුවී ගසාගෙන ගොස් ඇතැයි ඉතාලියෙන් ලැබෙන එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

පිය පුතු දෙපළ සමග  නෑමට ගිය පිරිස වහාම මේ බව හදිසි ඇමතුම් අංශයට දැනුම් දීමෙන් පසු යුද හමුදා කිමිදුම්කරුවන් කණ්ඩායමක් පැමිණපැය කිහිපයකට පසුඔවුන්ගේ සිරුරු සොයාගෙන ඇත.

මිලානෝ හි පිහිටි රෝහලක මෘත  ශරීරාගාරයේ පිය පුතු දෙපළ ගේ මළ සිරුරු තැන්පත් කර ඇති අතරපශ්චාත් මරණ පරීක්ෂණ ඊයේ 9 වෙනිදා පැවැත්වීමට නියමිතව තිබිණි.

මිය ගිය  තරුණයා ඉතාලියේ ක්‍රිකට් කණ්ඩායමක සාමාජිකයෙකි.

පශ්චාත් මරණ පරීක්ෂණ සහ හදිසි මරණ පරීක්ෂණ කටයුතු වලින් පසු පිය පුතු දෙපළ ගේ සිරුරු මෙරටට ගෙන ඒමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් තොරතුරු සහ ඡායාරූප සපයා දුන් මිලානෝ හි පදිංචි එමිල් රොහාන් මහතාට ලංකාදීපයේ විශේෂ ස්තූතිය පුද කරමු.