යක්කල සිද්ධායුර්වේද වෛද්‍ය විද්‍යාලයේ කාය චිකිත්සාව පිළිබඳව කථිකාචාර්ය, ආයුර්වේද විශාරද පණ්ඩිත, වෛද්‍ය  - චමරි වෛද්‍යරත්න

 

Chinese Date/ Indian plum යනුවෙන් ඉංග‍්‍රීසි බසින් හඳුන්වනු ලබන මාදං ගෙඩියක රස බලා තොල කට දම් පැහැ කර නොගත් අයෙක් අප රටේ නොමැති තරමටය. nor කුලයට අයත් දං ගෙඩි Zizyphus linn යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හැදින්වෙයි. හිමාලයේත් දකුණු ඉන්‍දියාවෙත් ලංකාවේ සියලූ ප‍්‍රදේශවලත් විශේෂයෙන් වියළි දේශගුණය සහිත ප‍්‍රදේශවලත් ගංඟා ඉවුරු අසබඩත් සරුවට සෑදෙන මාදං ගස, හීං මාදං, මාදං ලෙස ප‍්‍රභේද 2කි. පිණි ජම්බු හා රට ජම්බුද මාදං ප‍්‍රබේද ලෙස දක්වා ඇත. පොතු, කොළ, ගෙඩි හා වියළි ඇට ප‍්‍රයෝජනයට ගනී.

ශරීරයට ලබාගන්නා සීනි ගබඩා කිරීම සහ අවශ්‍ය අවස්ථාවලදී නිදහස් කරන්නේ අක්මාව මගිනි. එම කි‍්‍රයාදාමය වඩාත් කාර්යක්ෂමව කිරීමේ  හැකියාව මාදං ගෙඩි වලට හා ඇට චූර්ණය සතුය. එම ක‍්‍රියාවලිය නිසා රුධිරයේ හා මූත‍්‍ර වල ඇති ශර්කරා ප‍්‍රමාණය ස්වභාවික තත්ත්වයෙන් පවත්වා ගැනීමේ හැකියාව මෙම ශාකයේ පවතී. මූත‍්‍ර වැඩිපුර පිටවන රෝග අවස්ථා වලදී යෙදිය හැකිය. තනිකර මාදං ඇට වියලා සකස් කර ගත් චූර්ණය මධුමේහ රෝගයට ප‍්‍රශස්ත ඖෂධයකි. මාදං ඇට වලින් සකසන තරල සාරද මධුමේහ රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමේදී යොදා ගනී.  ඉක්‍ෂු මේහය, මධුමේහය උදක මේහය යන මේහ රෝග අවස්ථා වලදී යෙදිය හැකිය.

download-(4)5

කොළ කොටා ගත් යුෂ හා මාදං පොතු තැම්බූ ජලය ශරීරයෙන් රුධිරය පිටවෙන රක්ත ප‍්‍රදර, රක්ත අතීසාර වැනි රෝගවලදී යෙදීමෙන් රක්ත ශ‍්‍රාවය ඉක්මනින් නවතා ගත හැකිය.

දන්ත රෝග හා මුඛයේ ඉදිමුම් ඇතිවිට මාදං පොතු තැම්බූ කෂායෙන් කට සේදීමෙන් ද ඉඳුන මාදං ගෙඩි සපා යුෂ ගිලීමෙන්ද වහා ගුණ ලැබේ.

මාදං දළු වලින් සකස් කරන ලද ක්වාථය මීපැණි සමඟ යෙදීමෙන් වමනය නවතී. කුකුණක නැමැති අක්‍ෂි රෝගයේදී ද ඇස් සේදීමට දළු වලින් සකසන ක්වාථය දේශීය අක්‍ෂි වෙදැදුරන් විසින් භාවිතා කරයි.

මාදං පොතු පිළිස්සූ අළු තලතෙල් හා මිශ‍්‍ර කර හිසේ ඇතිවෙන දද වලදී ආලේප කිරීමෙන් සුවවෙයි.

සිරුරේ ඇතිවන දාහ රෝගවලදී හා සන්නිපාත රෝග වලදී ඇතිවෙන සිරුරේ දැවිල්ලට මාදං ගෙඩි යුෂ විනාකිරි තලතෙල් මිශ‍්‍ර කර රෙදි කඩක තෙමා නළල් පටයක් මෙන් බැඳ තැබීමෙන් සුවය ලැබේ.

download-(2)35

උපදංශ පිරංග ආදී චර්ම රෝග වලදී කොළ යුෂ තලතෙල් දමා සිඳ සකසන තෙල් ප‍්‍රයෝග කරනු ලබයි.  අද රටේ වැඩි කොටසක් පීඩාවට පත්කරන මධුමේහ රෝගීන්ට විශේෂයෙන් ගුණදායක වන පලතුරක් හා ඔසුවක් වන මාදං ශාකය, සෑම ගෙවත්තකම පාහේ වගා කොට කුඩා ළමයාගේ සිට මහල්ලා දක්වා වූ සැමට නිතර ආහාරය පිණිස ගැනීමට අනුබල දිය යුතු වැදගත් ශාකයකි. රටේ සියලූ පළාත්වල වැවෙන නමුත් ගස් යට ඉදී කුණුවී යාමට ඉඩ නොදී එක් රැස්කොට ප‍්‍රයෝජනයට ගැනීම පිණිස මහජනතාව දැනුම්වත් කිරීම අපගේ යුගයේ කාර්යභාරය ලෙස සලකමි.