ඉරාන යුද්ධය හේතුවෙන් ඇමෙරිකාවට රුසියන් යුක්රේන යුද්ධය අමතක වී ඇතැයි යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී චෝදනා කරයි. 

ඉරානය සමග පැහැදිලි ගනුදෙනුවක් ඇති කර ගැනීමට ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උත්සාහ ගනිමින් සිටින බැවින්, යුක්රේනය කෙරෙහි අවධානය යොමු කිරීමට කාලයක් නොමැති බව යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී යැඩි දුරටත් අවධාරණය කර ඇත. යුක්රේන ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ ජර්මානු රූපවාහිනී නාලිකාවක් සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමිනි.

රුසියන් යුක්රේන යුද්ධය අවසන් කිරීමට ඇමෙරිකාව සාම සැලැස්මක් සකස් කර දුන් අතර, රුසියාව සමග සාකච්ඡා පැවැත්වීම කළේ ට්‍රම්ප්ගේ නියෝජියන් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර්ය. ජැරඩ් කුෂ්නර් යනු ට්‍රම්ප්ගේ බෑණාය.

මේ වනවිට ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් පාකිස්තානය සමග සම්බන්ධ වී, ඇමෙරිකාවත් ඉරානයත් අතරේ සටන් විරාමයක් සහ සාම වැඩපිළිවෙළක් ඇති කරගැනීමට වෙහෙසෙති.

ඇමෙරිකාව රුසියානු ජනාධිපති පුටින්ට දැඩි බලපෑමක් එල්ල නොකර සරල සාකච්ඡාවල පමණක් නිරත වුවහොත්, රුසියාව යුද්ධය නැවැත්වීමට බිය නොවන බව සෙලෙන්ස්කි පෙන්වා දෙයි. පසුගිය මාර්තු මාසයේදී ඉරාන යුද්ධය ආරම්භ වීමත් සමඟ යුක්රේන - රුසියානු සාම සාකච්ඡා අඩපණ වී ඇති අතර, පෙබරවාරි මාසයෙන් පසු දෙරටේ නියෝජිතයන් අතර හමුවක් පවත්වා නොමැති බව ද යුක්රේන ජනාධිපතිවරයා පැහැදිලි කළේය.

ඇමෙරිකානු අවි ආයුධ සැපයුම ප්‍රමාද වීම යුක්රේනයට විශාල ගැටලුවක් වී ඇති බවත්, ගුවන් ආරක්ෂක පද්ධති සඳහා අවශ්‍ය මිසයිල හිඟ වීම හේතුවෙන් ඉදිරි යුද මෙහෙයුම් අවදානමක පවතින බවත් ජනාධිපතිවරයා වැඩි දුරටත් කියා සිටියේය. 

ජර්මන් සංචාරයේ දී සෙලෙන්ස්කී, චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් හමුවී රුසියාවට එරෙහි යුද්ධයේ ඉදිරි ක්‍රියාමාර්ග සහ ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා පිළිබඳව ද සාකච්ඡා පැවැත්වීය. ජර්මන් සංචාරයෙන් පසුයුක්රේන ජනාධිපතිවරයා, නෝර්වේ රාජ්‍යයේ සංචාරයක ද නියැලුණි.

එම නෝර්වේ සංචාරයේ දී නෝර්වේ අග්‍රාමාත්‍ය ජෝනාස් ගාර් ස්ටෝර් සමඟ පැවැති හමුවකදී ආරක්ෂක සහ සහයෝගිතා ගිවිසුමකට එළඹුණු යුක්රේන ජනාධිපතිවරයා, ඉදිරියේදී යුක්රේන ඩ්‍රෝන යානා නෝර්වේ රාජ්‍යය තුළ නිෂ්පාදනය කිරීමට ද එකඟතාව පළ කළේය.