ඇමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාරදෙන පුද්ගලයන් සඳහා ඇමෙරිකන් ඩොලර් 30,000 ක (ඉරාන ටෝමාන් බිලියන 5 ක) මුදල් ත්‍යාගයක් පිරිනමන බව ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි පවසයි.

මේවනවිට යුද මානසිකත්වයකින් පසුවන ඇමෙරිකාවේ කෙණෙහිලිකම්වලට එරෙහිව සටන් කිරීමට, ඉරාන තරුණයන් ලොකු උන්නදුවක් දක්වන බවත්, එය සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගත් බවත් ඉරාන හමුදා ප්‍රධානී අමීර් හතාමි පැහැදිලි කර ඇත.

ඉරාන පිරිමියකු ඇමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාර දීම කළොත් ලැබෙන මුදල ඇමෙරිකන් ඩොලර් 30,000 ක් වන නමුත්, ධෛර්යවන්ත ඉරාන කාන්තාවක් ඇමෙරිකා සෙබළුන් ඝාතනය කරන හෝ පණපිටින් අල්ලා භාර දීම කළොත් ඇයට ලබා දෙන මුදල ඇමෙරිකන් ඩොලර් 60,000 ක් යැයි හමුදා ප්‍රධානී අමීර් හතාමි වැඩි දුරටත් පවසා ඇත.

මීට අමතරව, ඇමෙරිකානු සෙබළෙකු ඝාතනය කිරීම සඳහා භාවිතා කරන ආයුධය ද එහි වටිනාකම මෙන් දෙගුණයක මුදලකට රජය විසින් මිලදී ගෙන ඒ වෙනුවට නව ආයුධයක් ලබාදීමට කටයුතු කරන බව ඉරාන හමුදා ප්‍රධානියා පවසා ඇත.

එමෙන්ම අදාළ ප්‍රහාරය සඳහා යොදාගත් ආයුධය ඉදිරියේදී නිර්මාණය කිරීමට නියමිත විශේෂ කෞතුකාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කරන බවද විදේශීය මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

ඇමෙරිකාවේ සැබෑ හමුදා බලය පිළිබඳව ලෝකය හමුවේ තිබූ මතය ඇමෙරිකා ඉරාන යුද්ධයත් සමග බිඳවැටී ඇති බව ද ඉරාන හමුදාපතිවරයා අවධාරණය කර තිබේ.

ඉකුත් ජූනි 17 වනදා පාකිස්තානයේ සහ කටාර් රාජ්‍යයේ මැදිහත් වීමෙන් ඇමෙරිකාව සහ ඉරානය අතරේ දින 60 අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. එම දින 60 ඇතුළත ගැටුම් නැවැත්වීමට පැහැදිලි එකඟතාවක් ඇති කර ගැනීම කළ යුතුව තිබේ.

එසේ වුවත්, දෙරට අතර සාකච්ඡා අඩපණ වී ඇති අතර, ඇමෙරිකාව ඉරානයේ ඉලක්කවලට පහර දෙයි. හෝමූස් සමුද්‍ර සන්ධිය තවමත් ඉරානය විසින් වසා දමනු ලැබ ඇත. පවතින යුද ගැටුම්වලින් මේ දක්වා මියගිය ඇමෙරිකන් සෙබළුන් ගණන 17 කි.